MTV මාධ්‍ය ජාලය විශිෂ්ඨතා සම්මානයෙන් පිදුම් ලබයි

ලොව අතිවිශිෂ්ඨ මාධ්‍ය සන්නාම සහභාගී වූ , ABU 63 වැනි මහා සමුළුවේදී MTV මාධ්‍ය ජාලය මාධ්‍ය විශිෂ්ඨතා සම්මානයෙන් පිදුම් ලබයි...

by Staff writer 02-11-2026 | 6:57 AM

COLOMBO (News 1st) - ආසියා - ශාන්තිකර කලාපීය විද්‍යුත් විකාශකයින්ගේ 63 වැනි මහා සමුළුවට සමගාමීව ABU ප්‍රයිසස් 2026 සම්මාන උළෙලේදී MTV මාධ්‍ය ජාලය, මාධ්‍ය විශිෂ්ඨතා සම්මානයට පාත්‍ර විය.

ආසියා ශාන්තිකර කලාපීය විද්‍යුත් විකාශකයින්ගේ සංගමය හෙවත් ABU හි 63 වැනි මහා සමුළුව ඊයේ (01) කොළඹ Cinnamon Life at City of Dreamsහිදී පැවැත්විණි.

ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්.

රටවල් හා කලාප 70 කට අධික සංඛ්‍යාවක් ආවරණය කරන ආසියා ශාන්තිකර කලාපීය විද්‍යුත් විකාශකයින්ගේ සංගමය විද්‍යුත් මාධ්‍ය ආයතන 230 කට අධික ප්‍රමාණයක් නියෝජනය කරන අතර එම නියෝජිතයින් තානාපතිවරුන්, රාජ්‍ය තාන්ත්‍රිකයින්, විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් ඇතුළු ආරාධිතයින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ABU මහලේකම්  අහමඩ් නදීම් , මහලේකම් කාර්යාල ප්‍රධානී නර්ගීසා නුමනෝවා ඇතුළු නියෝජිතයින් ද ඒ අතරට අයත්.

සාමය සහ මානව වර්ගයා වෙනුවෙන් මාධ්‍ය, සත්‍ය, විශ්වාසය සහ පරිවර්තනය යන්න මෙවර සමුළුවේ තේමාවයි.

ලොව විශාලතම මාධ්‍ය සංසදය වන ආසියා ශාන්තිකර කලාපීය විද්‍යුත් විකාශකයින්ගේ සංගමයේ මහ සමුළුව සඳහා සත්කාරකත්වය දැරීමේ වගකීම පැවරෙන්නේ සාමාජිකයින්ගේ බහුතර එකඟත්වයෙන්.

ඒ අනුව මහා සමුළුව මෙරට පැවැත්වීම සඳහා පෞද්ගලික මාධ්‍ය ජාලයක් ලෙස සිරස මාධ්‍ය ජාලයට හැකිවීම සුවිශේෂී කරුණක්.

මයිස් ටුවරිසම් හෙවත් "රැස්වීම්, දිරිගැන්වීමේ සංචාර, සම්මන්ත්‍රණ සහ ප්‍රදර්ශන" යන මූලික සංකල්පය ප්‍රවර්ධනය කිරීම මෙම සමුළුවේ පරමාර්ථයයි.