.webp)
 (3)-626549.jpg)
පරිසර අමාත්ය වෛද්ය ධම්මික පටබැඳි පැවසුවේ, අද (24) සිට ක්රියාත්මක එම වැඩපිළිවෙළ ඉදිරියේදී තවත් පුළුල් කිරීමට කටයුතු කරන බවයි.
ගම්මාන ආශ්රිතව වෙසෙන ඇතුන් 13 දෙනෙකු පමණ අනාරක්ෂිත බව මේ වන විට හඳුනාගෙන ඇත.
එම ඇතුන් සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පරිසර අමාත්යංශයේ දී පැවැත්විණි.
ඒ , පරිසර අමාත්ය වෛද්ය ධම්ම්ක පටබැඳි , නියෝජ්ය අමාත්ය ඇන්ටන් ජයකොඩි, යුධ හමුදාපති ලුතිනන් ජනරාල් නිලන්ත ප්රේමරත්න, වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් රන්ජන් මාරසිංහ සහ ස්වෙච්ඡා සංවිධාන සාමාජිකයින් ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙනි.
මේ ඇතුන් 13 දෙනා අතරට,
කුමන, ආරුගම්බේ ප්රදේශයේ සැරිසරන මහානාම,
බුන්දල, වීරවිර සැරිසරන කාශ්යප,
දිගම්පතහා, මින්නේරියේ වෙසෙන විජයබා,
කලාවැවේ සුරනිමල,
මහකනදරාවේ අග්බෝ,
උඩවලවේ සුමේධ,
මහවිලච්චිය, හලාවත ප්රදේශවල සැරිසරන සූර්යයා,
ලුණුගම්වෙහෙර මහාසේන,
මහවිලච්චියේ දීඝාභය,
යාන්ඔය, වාහල්කඩ හා පදිවියේ සැරිසරන ගජබාහු
මුලතිව්හි වෙසෙන වන්නියා
සහ මාදුරුඔය ප්රදේශයේ සැරිසර ඇතෙක් ඇතුළත්.
ඒකාබද්ධ වැඩපිළිවෙළක් යටතේ මෙම වන ඇතුන් සුරක්ෂිත කිරීමට නියමිතයි.
ඊට සමගාමීව ඒකාබද්ධ මෙහෙයුම් මධ්යස්ථානයක් මගින් එය සම්බන්ධිකරණය කිරීමටත් අදාළ ප්රදේශවල ජනතාව ඒ සඳහා සහභාගී කරවා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්ව තිබේ.
මේ අතර පොළොන්නරුව, කලාහගල ප්රදේශයේ නව ඇත්අතුරු සෙවණක් ස්ථාපිත කිරීමට තීරණය කර තිබේ.
පොළොන්නරුව දිස්ත්රික් ලේකම් සුජන්ත ඒකනායක සඳහන් කළේ, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් හෙක්ටයාර 15 ක පමණ භූමි ප්රමාණයක් ඒ සඳහා වෙන් කෙරෙන බවයි.
අලි-මිනිස් ගැටුම්, ගංවතුර සහ දුම්රිය අනතුරු ඇතුළු විවිධ ආපදා හේතුවෙන් මව් ඇතින්නන්ගෙන් වෙන්වන සහ තුවාල ලබන අලි පැටවුන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම, එහි අරමුණයි.
ඇත්අතුරු සෙවණ සඳහා කලාහගල ප්රදේශය තෝරාගෙන ඇත්තේ පශු වෛද්යවරුන්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ මහජන නියෝජිතයන්ගෙන් සමන්විත විශේෂඥ කමිටුවක් විසින් සිදු කරන ලද සමීක්ෂණයකින් අනතුරුවයි.
මෙරට එකම ඇත්අතුරු සෙවණ, උඩවලව ප්රදේශයේ පිහිටා තිබේ.
උතුරු සහ උතුරු මැද ප්රදේශවල සිට වන අලි පැටවුන් උඩවලවට ප්රවාහනය සඳහා පැය 7 ත් 9 ත් අතර කාලයක් ගත වන බව, සුජන්ත ඒකනායක සඳහන් කළේ ය.
තුවාල ලැබූ අලි පැටවුන් එතරම් දීර්ඝ කාලයක් ප්රවාහනය කිරීමේදී ජීවිත අවදානමක් පවා මතුව තිබේ.
