මෙරටට තාර ආනයනය විකල්ප රටවල් 5ක් ඔස්සේ...

මැදපෙරදිග අර්බුධ හමුවේ මෙරටට , විකල්ප රටවල් 5 කින් තාර ආනයනයට පියවර... - මාර්ග සංවර්ධන අධිකාරිය

by Staff writer 15-10-2026 | 9:24 AM

COLOMBO (News 1st) - මැද පෙරදිග පවතින යුදමය තත්ත්වය හේතුවෙන් මෙරට මාර්ග සංවර්ධනයට අවශ්‍ය තාර හිඟය මගහරවා ගැනීම සඳහා විකල්ප රටවල්  5කින් තාර ආනයනය ආරම්භ කර ඇතැයි, මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් එන්. ඒ හෙට්ටිආරච්චි සඳහන් කළේ, මීට පෙර ඉරානයේ නිශ්පාදිත උසස් තත්ත්වයේ තාර වැඩි වශයෙන් ආනයනය කළ බවයි.

නමුත් යුද ගැටුම් සහ හෝමුස් අවහිරය හමුවේ පසුගිය මාර්තු මාසයේ සිට මෙරටට තාර ආනයනය කිරීම ඇනහිටි බව අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ ය.

ඔහු සඳහන් කළේ මෙරට මාර්ග නඩත්තු සහ සංවර්ධන කටයුතු වෙනුවෙන් මසකට අවම වශයෙන් තාර මෙට්‍රික් ටොන් 20,000ක් පමණ අවශ්‍ය බවයි.

මේ වනවිට විකල්ප මාර්ග ඔස්සේ කසක්ස්තානය, බහරේනය, චීනය, ඉන්දියාව, මැලේසියාව සහ තායිලන්තය යන රටවලින් සුළු වශයෙන් තාර ආනයනය ආරම්භ කර ඇතැයි , අධ්‍යක්ෂ ජනරාල් සඳහන් කළේ ය.

විකල්ප වෙළෙඳපොළවල් පැවතියද, තාර මෙරටට ගෙන්වා ගැනීමේදී නැව් සමාගම් බොහෝමයක් ප්‍රවාහනය කිරීම ප්‍රතික්ෂේප කරනු ලබයි.

ඒ ඇමරිකානු සම්බාධකවලට හසුවීමේ බිය සහ යුදමය තත්ත්වයන් හමුවේ ප්‍රහාරයන්ට ලක්වීමේ අවදානම හේතුවෙන් ජාත්‍යන්තර රක්ෂණ ආයතන මඟින් මේ නෞකා සඳහා රක්ෂණ ආවරණ ලබා නොදීමේ ප්‍රවණතාවයත් සමගයි.