2026-10-06 වන දිනට අදාළ කැබිනට් තීරණ

2026-10-06 වන දිනට අදාළ කැබිනට් තීරණ

by Staff writer 06-10-2026 | 3:55 PM

COLOMBO(news1st) - ලිතුවේනියාව සහ ශ්‍රී ලංකාව අතර දේශපාලන උපදේශන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුම

- ලිතුවේනියාව සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 30 වන සංවත්සරය මෙම වසරට යෙදී ඇත. දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් ඉදිරියට ගෙන යාම, ද්විපාර්ශ්වික සහයෝගිතාව වැඩිදියුණු කිරීම සහ පොදු අරමුණු ප්‍රවර්ධනය කිරීම සඳහා දේශපාලන උපදේශන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට හැකි වන පරිදි අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීම යෝග්‍ය බව දෙපාර්ශ්වය විසින්ම යෝජනා කර තිබේ. එම අවබෝධතා ගිවිසුම මඟින් දේශපාලන, ආර්ථික, වාණිජ, විද්‍යාත්මක, තාක්ෂණික සහ සංස්කෘතික අංශ ඇතුළුව දෙපාර්ශ්වය අතර පවතින ද්විපාර්ශ්වික සහයෝගිතාව හා සබඳතා ප්‍රවර්ධනය කිරීම, ශක්තිමත් කිරීම සහ පුළුල් කිරීම අපේක්ෂා කෙරේ. ඒ අනුව, ලිතුවේනියා ජනරජයේ විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය අතර දේශපාලන උපදේශන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම පිණිස අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා නිල සන්නිවේදන පහසුකම් ලබා දීම

- ශ්‍රී ලංකාවේ සියලුම අධිකරණ ඩිජිටල්කරණය කිරීමේ අරමුණින් 'e‑court' ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා 2025-12-15 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. එම ව්‍යාපෘතියේ මූලික පියවර වශයෙන් නඩු ගොනු කළමනාකරණය සඳහා මහේස්ත්‍රාත් අධිකරණ, දිසා අධිකරණ සහ මහාධිකරණ වෙත අවශ්‍ය ඩිජිටල් පද්ධතීන් නිර්මාණය කරමින් පවතී. ඒ සඳහා මූලික අවශ්‍යතාවක් වන නිල විද්‍යුත් තැපැල් පහසුකම අධිකරණ පද්ධතියේ සියලුම මට්ටම්වල නිලධාරින් වෙත ලබා දිය යුතුව තිබේ. එමෙන්ම, දැනට අධිකරණවල පවතින ලඝුලේඛක හිඟයට පිළියමක් වශයෙන් වාචික ප්‍රකාශ ඒ මොහොතේදීම ලේඛන බවට හැරවීම සඳහා (Voice-to-Text) තාක්ෂණික පහසුකම් සලසා දීමේ අවශ්‍යතාව ද හඳුනා ගනු ලැබ ඇත. එසේම, 2025 අංක 7 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනතේ සහ 2015 අංක 4 දරන අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනතේ විධිවිධාන යටතේ මාර්ගගත ක්‍රමයට නඩු විභාග කිරීම පිණිස සියලුම අධිකරණ සඳහා වීඩියෝ සම්මන්ත්‍රණ පහසුකම ලබා දිය යුතුව තිබේ. ඒ අනුව, රාජ්‍ය නිල තොරතුරු ද්වාරය (gov.lk) යටතේ අධිකරණ 350ක් සඳහා courts.gov.lk නිල නාමය සහිතව විද්‍යුත් තැපැල් පහසුකම සහිත නිල විද්‍යුත් තැපැල් ගිණුම් 1,050ක් මූලික අවස්ථාවේදී ලබා දීමටත්, විද්‍යුත් තැපැල් පද්ධතියටම ඇතුළත් කථනය ලේඛනය බවට හැරවීමේ (Voice-to-Text) සහ වීඩියෝ සම්මන්ත්‍රණ පහසුකම් සහිතව දැනට අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය විසින් භාවිත කරනු ලබන විද්‍යුත් තැපැල් පද්ධතිය මඟින් යෝජිත නිල විද්‍යුත් තැපැල් ගිණුම් 1,050ක් සඳහා සත්කාරක පහසුකම් ලබා දීමටත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 

සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හිමියන් සඳහා වීසා නිදහස් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ගිවිසුමකට එළඹීම

- ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පවතින මිත්‍රශීලී සබඳතා තවදුරටත් වර්ධනය කිරීමේ සහ දෙරටේ පුරවැසියන්ගේ සංචාරක කටයුතු පහසු කිරීමේ අරමුණින් සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හිමියන් සඳහා වීසා නිදහස් කිරීමේ ගිවිසුමකට එළඹීම පිණිස දෙපාර්ශ්වය විසින් එකඟතාව පළ කරනු ලැබ තිබේ. එම ගිවිසුම මඟින් වලංගු සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍රයක් හිමි දෙරටේ පුරවැසියන්ට දින 180ක කාලසීමාවක් තුළ රැකියා, අධ්‍යාපන, මාධ්‍ය හෝ වෙනත් පූර්ව අනුමැතීන් අවශ්‍ය කටයුතු හැර සාමාන්‍ය සංචාරක කටයුතු සඳහා උපරිම දින 30ක තනි කාලසීමාවක් සහ සමුච්චිත දින 90ක කාලසීමාවක් දක්වා පූර්ව වීසා බලපත්‍රයකින් තොරව රටට ඇතුළුවීමට, පිටවීමට සහ සංක්‍රමණය වීමට අවස්ථාව හිමිවනු ඇත. ඒ අනුව, ශ්‍රී ලංකාවේ රජය සහ තායිලන්තයේ රජය අතර සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හිමියන් සඳහා වීසා නිදහස් කිරීමේ ගිවිසුම අත්සන් තැබීම පිණිස මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

-

2027 වර්ෂය සඳහා අවශ්‍ය පාසල් පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර) ප්‍රසම්පාදනය

- 2027 වර්ෂයේදී පාසල් දරුවන් වෙත නොමිලේ බෙදා හැරීමට අවශ්‍ය 1, 2 සහ 6 යන ශ්‍රේණිවල මොඩියුල ද ඇතුළත්ව පාසල් පෙළපොත්/මොඩියුල වර්ග 421ක් මුද්‍රණය කිරීම සඳහා මුද්‍රණායතන තෝරා ගැනීම පිණිස අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා ඇත. ඒ සඳහා ලංසු 31ක් ඉදිරිපත් කරනු ලැබ තිබේ. එම ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ මත පදනම්ව, අදාළ පෙළපොත්/මොඩියුල වර්ග 421ක් මුද්‍රණය කිරීමේ කොන්ත්‍රාත්තු, මුද්‍රණායතන 21ක් වෙත රුපියල් මිලියන 1,614.69ක මුදලකට (එකතු කළ අගය මත බදු රහිත) පිරිනැමීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


මඩකලපුව දිස්ත්‍රික්කයේ එරාවුර්පත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පුන්නෙයිකුඩා ප්‍රදේශයේ පිහිටි රෙදිපිළි නිෂ්පාදන ආයෝජන කලාපය සඳහා අභ්‍යන්තර අපජලය රැස්කිරීමේ ජාලය සහ පොම්ප පද්ධතිය ඉදිකිරීමේ ප්‍රසම්පාදනය

- මඩකලපුව දිස්ත්‍රික්කයේ එරාවුර්පත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පුන්නෙයිකුඩා ප්‍රදේශයේ පිහිටි රෙදිපිළි නිෂ්පාදන ආයෝජන කලාපයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම පිණිස 2020-11-02 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, එම ආයෝජන කලාපය තුළ අභ්‍යන්තර අපජල රැස්කිරීමේ ජාලය සහ පොම්ප පද්ධතිය ඉදි කිරීම සඳහා කොන්ත්‍රාත්කරුවකු තෝරා ගැනීම පිණිස ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා තිබේ. ඒ සඳහා ලංසු 07ක් ඉදිරිපත් කර ඇත. එම ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ මත පදනම්ව, සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන CGC‑ KDESH JV (China Geo Engineering Corporation & K D Ebert and Sons Holdings (Pvt) Ltd. JV) වෙත රුපියල් මිලියන 511.78ක මුදලකට (එකතු කළ අගය මත බදු රහිත) එකී කොන්ත්‍රාත්තුව පිරිනැමීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

2026/27 මහ කන්නය සඳහා කුඹුරු ඉඩම්වල වගා කරනු ලබන ගොවීන්ට පොහොර සඳහා මූල්‍ය සහනාධාරය ලබා දීම


- කුඹුරුවල වගා කරන වී හා කන්න රැස්වීම්වලදී තීරණය කරනු ලබන මෙන්ම කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් විසින් නිර්දේශ කරනු ලබන වෙනත් ක්ෂේත්‍ර බෝග වගාවන් සඳහා අවශ්‍ය පොහොර සපයා ගැනීමට සහනාධාර ලබා දීමේ වැඩසටහන 2026/27 මහ කන්නයේදී ද අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරනු ලැබ තිබේ. එම කන්නය සඳහා පොහොර මූල්‍ය සහනාධාරය ලබා දීමේ පිරිවැය රුපියල් බිලියන 16ක් ලෙස ඇස්තමේන්තුගත කර ඇත. ඒ අනුව, 2026/27 මහ කන්නයේදී වී සහ කුඹුරුවල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග වගාවන් සඳහා හෙක්ටයාරයකට රුපියල් 30,000/- බැගින් උපරිම හෙක්ටයාර 2ක් දක්වා පොහොර මූල්‍ය සහනාධාරය ගෙවීම් කිරීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


මාර්ග යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම

- මාර්ග යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කිරීම සඳහා කොන්ත්‍රාත්කරුවන් තෝරා ගැනීම පිණිස මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ජාතික තරගකාරී ලංසු කැඳවීමේ ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා ඇත. ඒ සඳහා ලැබී ඇති ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටු විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ මත පදනම්ව, පහත සඳහන් පරිදි අදාළ කොන්ත්‍රාත්තු පිරිනැමීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී

ලෝටස් මංසන්ධිය, වරාය ප්‍රවේශ අධිවේගී මාර්ගය සහ මැරීන් ඩ්‍රයිව් සම්බන්ධක මාර්ගය ඇතුළුව ඒ අවට ප්‍රදේශවල රථවාහන තදබදය අවම කිරීම සඳහා වන ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීම

- ලෝටස් මංසන්ධිය, වරාය ප්‍රවේශ අධිවේගී මාර්ගය සහ මැරීන් ඩ්‍රයිව් සම්බන්ධක මාර්ගය ඇතුළුව ඒ අවට ප්‍රදේශවල රථවාහන තදබදය අවම කිරීම සඳහා වන ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීමට උපදේශන සේවා ආයතනයක් තෝරා ගැනීම පිණිස මාර්ග සංවර්ධන අධිකාරිය විසින් අභිලාෂ ප්‍රකාශ කිරීම් කැඳවා ඇත. ඒ සඳහා ඉදිරිපත් කරන ලද අභිලාෂ ප්‍රකාශ කිරීම් කෙටි ලැයිස්තුගත කිරීමෙන් අනතුරුව, ආයතන 05ක් වෙතින් යෝජනා සඳහා ඉල්ලීම් කැඳවීම් සිදු කර තිබේ. ඒ අනුව, එකී යෝජනා සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද උපදේශන ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශය මත පදනම්ව M/s Master Hellie's Engineering Consultants (Pvt) Ltd. වෙත දේශීය සංරචකය ලෙස රුපියල් මිලියන 52.44ක මුදලක් (එකතු කළ අගය මත බදු රහිත) සහ විදේශීය සංරචකය ලෙස ඇමෙරිකානු ඩොලර් 122,859ක මුදලක් ඇතුළත් වන පරිදි රුපියල් මිලියන 91.21ක මුදලකට (එකතු කළ අගය මත බදු රහිත) එකී උපදේශන සේවා කොන්ත්‍රාත්තුව පිරිනැමීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


'ප්‍රජා ශක්ති' ජාතික වැඩසටහන යටතේ ඩෙල්ෆ්ට්‑යාපනය මුහුදු මාර්ගය සඳහා නව යාත්‍රාවක් සේවයේ යෙදවීම


- යාපනය අර්ධද්වීපයේ, විශේෂයෙන්ම ප්‍රධාන භූමිය සහ ඩෙල්ෆ්ට් වැනි බාහිර දූපත් අතර ආරක්ෂිතව සහ එකවර මගීන් වැඩි සංඛ්‍යාවක් රැගෙන යාම සඳහා පවතින පහසුකම් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මගී සමුද්‍රීය ප්‍රවාහනය පවත්වාගෙන යාම අභියෝගයක් බවට පත්ව තිබේ. ඒ සඳහා වන විසඳුමක් වශයෙන් 'ප්‍රජා ශක්ති' ජාතික ව්‍යාපාරය යටතේ ඩෙල්ෆ්ට්‑යාපනය මුහුදු මාර්ගය සඳහා මගීන් 150දෙනෙකු පමණ එකවර ප්‍රවාහනය කළ හැකි මගී ප්‍රවාහන මුහුදු යාත්‍රාවක් (Sea Ferry) සේවයේ යෙදවීමේ යෝග්‍යතාව හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, අදාළ මගී ප්‍රවාහන යාත්‍රාව සීමාසහිත සීනෝර් පදනම මඟින් නිෂ්පාදනය කරවාගෙන, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ ‌පිහිටුවා ඇති ‌ඩෙල්ෆ්ට් සංවර්ධන සමිතිය හරහා යාත්‍රාවේ මෙහෙයුම් කටයුතු සිදු කිරීමටත්, එමඟින් උපයනු ලබන ආදායම එම සමිතියේ සාමාජිකයින් ඇතුළු ඩෙල්ෆ්ට් ප්‍රදේශයේ සියලුම අඩු ආදායම්ලාභී ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනය සඳහා යොදා ගැනීමටත් ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

වාලච්චේන ධීවර වරායෙහි දැනට පවතින වේදිකා බැම්ම දිගු කිරීම, ප්‍රවේශ මාර්ගය සහ මායිම් බැම්ම ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව සහ එහි ඉදිකිරීම් අධීක්ෂණ උපදේශන සේවා කොන්ත්‍රාත්තුව පිරිනැමීම


- වාලච්චේන ධීවර වරායෙහි දැනට පවතින වේදිකා බැම්ම දිගු කිරීම, ප්‍රවේශ මාර්ගය සහ මායිම් බැම්ම ඉදිකිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස 2025-08-04 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. එම ව්‍යාපෘතියේ ඉදිකිරීම් සිදු කිරීම සඳහා කොන්ත්‍රාත්කරුවකු තෝරා ගැනීම පිණිස විධිමත් ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුගමනය කරමින් ලංසු කැඳවා ඇති අතර, ඒ සඳහා ලංසු 02ක් ඉදිරිපත් කර තිබේ. එකී ලංසු ඇගයීමෙන් අනතුරුව අමාත්‍යාංශ ප්‍රසම්පාදන කමිටුව විසින් සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන M/s Senok Trade Combine (Pvt) Limited වෙත රුපියල් මිලියන 766.88ක මුදලකට (එකතු කළ අගය මත බදු රහිත) එම කොන්ත්‍රාත්තුව පිරිනැමීම නිර්දේශ කරනු ලැබ ඇත.

එම ව්‍යාපෘතියේ ඉදිකිරීම් අධීක්ෂණ උපදේශන සේවා සඳහා උපදේශන ආයතනයක් තෝරා ගැනීම පිණිස විධිමත් ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුගමනය කරමින් ලංසු කැඳවා ඇති අතර, ඒ සඳහා ලංසු 03ක් ඉදිරිපත් කර තිබේ. එකී ලංසු ඇගයීමෙන් අනතුරුව අමාත්‍යාංශ උපදේශන ප්‍රසම්පාදන කමිටුව විසින් සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන M/s EML Consultant PLC වෙත රුපියල් මිලියන 35.54ක මුදලකට (එකතු කළ අගය මත බදු රහිත) එම උපදේශන සේවා කොන්ත්‍රාත්තුව පිරිනැමීම නිර්දේශ කරනු ලැබ ඇත.

ඒ අනුව, අමාත්‍යාංශ ප්‍රසම්පාදන කමිටුවේ සහ අමාත්‍යාංශ උපදේශන ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පදනම්ව ඉහත සඳහන් පරිදි එකී කොන්ත්‍රාත්තු පිරිනැමීම පිණිස ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


සෞඛ්‍ය සේවා පවත්වා ගෙන යාම සඳහා අවශ්‍ය ඖෂධ ප්‍රසම්පාදනය කිරීම

- මහජනතාවගේ සෞඛ්‍ය සේවා පවත්වා ගෙන යාම සඳහා පහත සඳහන් අත්‍යවශ්‍ය ඖෂධ ප්‍රසම්පාදනය කිරීම පිණිස ජාත්‍යන්තර තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා ඇත. ඒ සඳහා ලැබී ඇති ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටු විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ මත පදනම්ව අදාළ ප්‍රසම්පාදනයන් පිරිනැමීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

 

කෙරවලපිටිය-කොළඹ වරාය දෙවන භූගත කේබල් ව්‍යාපෘතිය සඳහා 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත යටතේ විශේෂ ව්‍යාපෘති තත්ත්වය පිරිනැමීම


- මෙරට දිගුකාලීන විදුලි සම්ප්‍රේෂණ සංවර්ධන සැලැස්ම අනුව කෙරවලපිටියේ සිට කොළඹ වරාය දක්වා දෙවන කිලෝවෝල්ට් 220ක භූගත කේබල් ව්‍යාපෘතිය ආසියානු යටිතල පහසුකම් සංවර්ධන බැංකු අරමුදල් යටතේ ක්‍රියාත්මක කිරීම පිණිස 2021-09-13 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කරමින් තෝරා ගන්නා ලද කොන්ත්‍රාත්කරු වන M/s Consortium of Jiangsu ETERN Co. Ltd. (China) and LS Cable & System Limited (LS Cable‑Korea) වෙත එකී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ කොන්ත්‍රාත්තුව එවකට ලංකා විදුලිබල මණ්ඩලය විසින් පිරිනමනු ලැබ තිබේ. මේ වන විට එම ව්‍යාපෘතිය ලංකා විදුලිබල මණ්ඩලයේ අනුප්‍රාප්තික සමාගමක් වන නැෂනල් ට්‍රාන්ස්මිෂන් නෙට්වර්ක් සර්විස් ප්‍රවයිඩර් (ප්‍රයිවට්) ලිමිටඩ් වෙත පැවරී ඇත. ව්‍යාපෘතියේ උපක්‍රමික වැදගත්කම සැලකිල්ලට ගෙන, එකතු කළ අගය මත බදු, රේගු ආනයන බදු සහ වෙනත් අදාළ අයබදු, තීරු බදු හා අයකිරීම් ගෙවීමෙන් අවශ්‍ය නිදහස් කිරීම් ලබා ගැනීම පිණිස කෙරවලපිටියේ සිට කොළඹ වරාය දක්වා දෙවන කිලෝවෝල්ට් 220ක භූගත කේබල් ව්‍යාපෘතිය 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනතේ විධිවිධාන අනුව 'විශේෂ ව්‍යාපෘතියක්' ලෙස නම් කිරීම පිණිස බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 

අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතිය - අදියර IIහි මැදවච්චිය සහ රඹෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ප්‍රජාමූල සංවිධාන සඳහා HDPE බෙදාහැරීමේ නළ සැපයීම සහ එළීම, සේවා සම්බන්ධතා ලබා දීම හා ඝනමීටර 250 ධාරිතාවකින් යුත් ජල කුලුනක් ඉදි කිරීම


- ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ මූල්‍යාධාර මත ක්‍රියාත්මක වන අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ අදියර II යටතේ ඝනමීටර 250ක ධාරිතාවකින් යුත් උස් ජල කුලුනක් ඉදි කිරීම සහ ජල සම්බන්ධතා 17,000කට ජලය ලබා දෙන කිලෝමීටර 425ක් දිගැති නළ ජාලයක් ආවරණය කරමින් මැදවච්චිය සහ රඹෑව යන ප්‍රදේශවල ජනතාවට ආරක්ෂිත පානීය ජලය ලබා දීමට ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් සැලසුම් කර ඇත. ඒ සඳහා සුදුසු කොන්ත්‍රාත්කරුවෙකු තෝරා ගැනීම පිණිස 2022 වර්ෂයේදී ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ එකඟතාව සහිතව ජාතික තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රමය අනුගමනය කරමින් ලංසු කැඳවා තිබේ. එහෙත්, මෙරට පැවති ආර්ථික අර්බුදය හේතුවෙන් එකී ප්‍රසම්පාදනයේ ඉදිරි කටයුතු ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇත. නැවත ලංසු කැඳවීම සඳහා ගත වන කාලය සැලකිල්ලට ගෙන මේ වන විට ඉදිරිපත් වී ඇති ලංසු සමඟ එම ප්‍රසම්පාදනයේ ඉදිරි කටයුතු සිදු කරන ලෙසත්, අදාළ විධිවිධාන පරිදි මිල ගැලපීම් සිදු කරන ලෙසත්, ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය විසින් යෝජනා කරනු ලැබ තිබේ. ඒ අනුව, ලංසු සුරක්ෂණවල කාලය දීර්ඝ කිරීමට එකඟතාව පළ කරන ලද ලංසුකරුවන් තිදෙනෙකු විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති ලංසු ඇගයීමෙන් අනතුරුව, ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කර ඇති නිර්දේශ මත පදනම්ව, සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන M/s Sierra Construction Ltd. වෙත ජපන් යෙන් මිලියන 600.11ක මුදලකට සහ ශ්‍රී ලංකා රුපියල් බිලියන 1.76ක මුදලකට එකී කොන්ත්‍රාත්තුව පිරිනැමීම පිණිස නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ඉහළ ජල පෝෂක ප්‍රදේශ කළමනාකරණ අධිකාරිය පිහිටුවීම සඳහා ආයතනික රාමුවක් ස්ථාපිත කිරීම


- ස්වභාවික විපත් හා මානව ක්‍රියාකාරකම්වලින් සිදු වන අයහපත් දේශගුණික බලපෑම්වලට ඔරොත්තු දිය හැකි වන පරිදි සහ රටෙහි තිරසර සංවර්ධනයට යොදා ගත හැකි වන පරිදි, ඉහළ ජල පෝෂක ප්‍රදේශ ඇතුළු මධ්‍යම කඳුකරය ආරක්ෂා කිරීමට විධිමත් හා දිගුකාලීන වැඩපිළිවෙලක් හඳුනා ගැනීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා ඉහළ ජල පෝෂක ප්‍රදේශ කළමනාකරණ අධිකාරිය ස්ථාපිත කිරීම පිණිස 2026-06-08 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, ජනාධිපති ලේකම් විසින් පත් කරන ලද විශේෂඥ තාක්ෂණික කමිටුවක් විසින් යෝජිත අධිකාරිය සඳහා වන ආයතනික ව්‍යුහය, කාර්යයන්, බලතල, ක්‍රියාකාරී විෂය පථය සහ පාලන හා සම්බන්ධීකරණ යාන්ත්‍රණය ඇතුළත් සංකල්ප පත්‍රිකාවක් සකස් කරනු ලැබ තිබේ. එකී සංකල්ප පත්‍රිකාව මත පදනම්ව, ඉහළ ජල පෝෂක ප්‍රදේශ කළමනාකරණ අධිකාරිය ස්ථාපිත කිරීමට අවශ්‍ය නෛතික විධිවිධාන ඇතුළත් පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් ලබා දීම පිණිස ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

වන සත්ව හා වෘක්ෂලතා (නම් කරන ලද ප්‍රදේශ තුළ ආදිවාසී ප්‍රජාවන්ගේ ක්‍රියාකාරකම් නියාමනය කිරීම) නියෝග හඳුන්වා දීම

- ආදිවාසී ප්‍රජාවගේ සාම්ප්‍රදායික ජීවනෝපාය සහ පරිසර පද්ධතිය ආරක්ෂා කිරීම අරමුණු කර ගෙන, පවතින නීති කෙරෙහි වඩාත් සංවේදී වෙමින් ඔවුන්ගේ ජීවනෝපාය කටයුතුවල නිරත වීම සුරක්ෂිත කිරීමට හැකි වන පරිදි විධිමත් නියාමන ක්‍රමවේදයක් හඳුන්වා දීමේ අවශ්‍යතාව හඳුනා ගනු ලැබ ඇත. ඒ අනුව, ආදිවාසී ජනතාවගේ පැවැත්මට මූලික වන, යම් රජයේ ඉඩමක් මත ක්‍රියාත්මක කිරීමට නීතියෙන් හෝ චාරිත්‍රයෙන් හෝ ව්‍යවහාරයෙන් හෝ සාම්ප්‍රදායික පරිචය අනුව අත්කර ගෙන ඇති අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ලියාපදිංචි වූ ආදිවාසී ප්‍රජාවගේ සාමාජිකයෙකුට අදාළ ප්‍රදේශ තුළ නම් කරන ලද ක්‍රියාකාරකම් සඳහා අවසර ලබා දීමට හැකි වන පරිදි (469 වන අධිකාරය වූ) වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත යටතේ වන සත්ව හා වෘක්ෂලතා (නම් කරන ලද ප්‍රදේශ තුළ ආදිවාසී ප්‍රජාවන්ගේ ක්‍රියාකාරකම් නියාමනය කිරීම) නියෝග සකස් කරනු ලැබ තිබේ. එකී නියෝග රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් පරිසර අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පූර්ණකාලීනව වැඩ බැලීම සඳහා පත් කිරීම


- ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස සේවය කළ එච්.සී.පී.ජයවීර මහත්මිය 2026-09-14 දිනට වයස අවුරුදු 60 සම්පූර්ණ වීම මත රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගනු ලැබ ඇත. ඒ හේතුවෙන් මේ වන විට පුරප්පාඩුව පවතින ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට එම දෙපාර්තමේන්තුවේ දැනට සේවය කරනු ලබන ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ I ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන, එම්.එම්.ඩී.ජේ සේනාරත්න මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි පූර්ණකාලීනව වැඩ බැලීම සඳහා පත් කිරීම පිණිස පරිසර අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.