අතුරුගිරියේ සිදුවූ මනුෂ්‍ය ඝාතන 2කට 4ක් අත්අඩංගුවට

අතුරුගිරිය ප්‍රදේශයේදී වෙඩි තබා මනුෂ්‍ය ඝාතන දෙකක් සිදු කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් හතර දෙනෙකු අත්අඩංගුවට

by Staff writer 21-09-2026 | 4:22 PM

COLOMBO (News 1st) - අතුරුගිරිය ප්‍රදේශයේදී වෙඩි තබා මනුෂ්‍ය ඝාතන දෙකක් සිදු කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර වෙඩික්කරු සහ අපරාධයට ආධාර අනුබල දුන් තවත් සැකකරුවන් තුන්දෙනෙකු ඇතුළත් බවයි.

සැකකරුවන් 21, 24, 41 හා 45 හැවිරිදි පාදුක්ක, බණ්ඩාරගම, මෙරොන්තුඩුව, අළුබෝමුල්ල ප්‍රදේශවල පදිංචිකරුවන්.

වෙඩික්කරු ලෙස ක්‍රියාකළ සැකකරු සන්තකයේ තිබී ජීව අත් බෝම්බයක්ද සොයාගත් බව පොලීසිය සඳහන් කළේ ය.

සැකකරු හොරණ මහේස්‍ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට වරෙන්තු නිකුත් වූ අයෙකු බවටද අනාවරණය වී තිබේ.

පසුගිය 8 වැනිදා අතුරුගිරිය පරණ හන්දිය වලේකඩේ ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් හෝටලයක සිටි සේවකයෙකු තුවාල ලැබී ය.

යතුරුපැදියකින් පැමිණි දෙදනෙකු විසින් වෙඩි තැබීම සිදු කර තිබුණි.

තුවාල ලබා ඇත්තේ 26 හැවිරිදි පුද්ගලයෙකි.

පසුගිය මස 17 වැනිදා අතුරුගිරියේ, හබරකඩ සීලාලංකාර මාවත ප්‍රදේශයේ සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබුණි.

පොලීසිය සඳහන් කළේ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තැබීම සිදු කර ඇති බවයි.

වෙඩි වැදිමෙන් තුවාල ලබා ඇත්තේ 29 හැවිදිරි හෝටල් සේවකයෙකි.