බැසිල්ට නිල් නිවේදන

බැසිල්ට නිල් නිවේදන

by Staff writer 19-09-2026 | 9:21 PM

COLOMBO(News1st) - සිදුකළ ගනුදෙනු දෙකකට අදාළව මුදල් විශුද්ධිකරණ චෝදනා එල්ල වී රටින් පළාගොස් සිටින හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලීසිය හරහා නිල් නිවේදන නිකුත් කිරීමට ඉල්ලීමක් කර ඇතැයි පොලීසිය පවසයි.

රටින් පලාගොස් සියටින බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට මේ වන විට වරෙන්තු දෙකක් නිකුත් කර තිබේ.

ඒ නඩු දෙකකට අදාළවයි.

බැසිල්ට නිල් නිවේදන නිකුත් කරන්න හේතු වුණ නඩු මොනවාද?

අයථා අන්දමින් උපයන ලද මුදලින් මාතර බ්‍රවුන්ස්හිල්හි අක්කර එකහමාරක ඉඩමක් මිලදී ගැනීම සහ සංචාරක ප්‍රවර්ධන කාර්යංශයට අයත් රුපියල් මිලියන 7.8ක මුදලක් යොදා ඌව පළාත් සභා මැතිවරණ සමයේ ටීෂර්ට් 12,000ක් බෙදා හැරීම යන චෝදනා ඔහුට එල්ලවී තිබේ.

මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුව අදාළ වන්නේ අයථා අන්දමින් උපයන ලද මුදලින් මාතර බ්‍රවුන්ස්හිල්හි අක්කර එකහමාරක ඉඩමක් මිලදී ගැනීමටයි.

එම නඩුවට අදාළව බැසිල් රාජපක්ෂ අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන්,පසුගිය මාසයේ 18 වැනිදා ඇප මුදල් රාජසන්තක කිරීමටද නියෝග කෙරුණි.

මේ අතර සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ රුපියල් මිලියන 7.8 ක මුදලක් යොදා ඌව පළාත් සභා මැතිවරණයට ප්‍රචාරණ කටයුතු කිරීම සම්බන්ධ චෝදනාවකට අදාළව, නඩුව විභාගවන්නේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේයි.

කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන පසුගිය නඩුවාරයකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ හිටපු ඇමති බැසිල් රාජපක්ෂ ඇතුළු සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

අප කළ විමසීමකදී ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු සදහන් කළේ, රටින් පළාගොස් සිටින හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලීසිය හරහා නිල් නිවේදන නිකුත් කිරීමට අදාළව සිදුකළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ජාත්‍යන්තර පොලීසිය ඊට අදාළව කරුණු කිහිපයක් මෙරටින් ඉල්ලා ඇති බවයි.

එම කරුණුවලට අදාළ ලේඛන ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයි ද ඔහු සදහන් කළේය