.webp)
ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයට අදාළව අද දිනයේ අධිකරණය හමුවේ කරුණු දක්වන්නැයි ජාතික රෝහලේ අධ්‍යක්ෂයවරයාට පසුගිය දෙවනදා නඩුව කැදවූ අවස්ථාවේ නියෝග කර තිබුණි.
නමුත් අද රෝහල් අධ්‍යක්ෂවරයා අධිකරණයට කරුණු වාර්තා කර තිබුණේ නැහැ.
මීට අමතරව සුරේෂ් සලේ වදහිංසාවට ලක්ව ඇත්දැයි විමර්ශනය කර කරුණු වාර්තා කිරීම අධිකරණය පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලයක්ද නම් කර තිබුණි.
අධිකරණයේදී අනාවරණය වූයේ මෙම වෛද්‍ය මණ්ඩලයට වාර්තාව සැකසීමට අවශ්‍ය රෝග විනිශ්චිය ඇතුළු වාර්තා රෝහල් අධ්‍යක්ෂවරයා විසින් යොමුකර නොමැති බවයි.
පාස්කු විමර්ශනයට අදාළව රැඳවුම් නියෝග මත සිටින සැකකාර සුරේෂ් සලේ විමර්ශනය සම්පූර්ණයෙන්ම අඩපණ කර දින 100ක කාලයක් කොළඹ ජාතික රෝහලේ විවේකීව නේවාසික රැඳී සිටින බව අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් අද අධිකරණය හමුවේ කියා සිටියේය.
මේ අතර 278 දෙනෙකු ඝාතනය කර තවත් 500 කට අධික පිරිසක් ආබාධිත තත්ත්වයට පත්කළ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට සුරේෂ් සලේ ඇතුළු පිරිසකගේ සබඳතා පිළිබඳව අද තවත් සුවිශේෂී සාක්ෂි දෙකක් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.
ඉන් එක් සාක්ෂියක් ලබාදී තිබුනේ එවක යුද හමුදා බුද්ධි අංශයේ තොරතුරුකරුවෙක්.
පාස්කු ප්‍රහාරය සිදු කිරීමට පෙර රිෂාඩ් බදියුදීන්ගේ දේශපාලන රැකවරණය මත කීප අවස්ථාවකදීම සහරාන් හසීම් මන්නාරම් මුහුදු මාර්ගයෙන් ඉන්දියාව බලාගොස් ඇති බවද අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ කියා සිටියේය.
අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා රාජ්‍ය සේවයේ අන්තවාදී කටයුතු සම්බන්ධව සොයා බැලූ අංශයේ හිටපු පොලිස් පරික්ෂක රංජන් සෙනෙරත් බණ්ඩාරට විදෙස් ගමන් තහනමක් ද ඉල්ලා සිටියේය.
අධිකරණය එම ඉල්ලීමට අවසර ලබාදුනි.
එමෙන්ම විපක්ෂ නායකවරයා ඇතුළු මන්ත්‍රීවරුන් පාස්කු ප්‍රහාරය සම්බන්ධව සිදු කර තිබෙන ප්‍රකාශ පිළිබඳව ප්‍රකාශ සටහන් කර ගැනීමට කටයුතු කරන බව ද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියේය.
සැකකාර සුරේෂ් සලේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු විමර්ශන ප්‍රගතිය බව පවසමින් ඉදිරිපත් කරන බී වාර්තා අසත්‍ය ප්‍රකාශ බව කියා සිටියේය.
නඩුව සැප්තැම්බර් 22 වනදා යළි කැඳවීමට නියමිතයි.
