රවී සහ ශානි ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්..

රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකරගේ මූලික මිනිස් අයිතිවාසිකම් කඩවී ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි....

by Staff writer 15-09-2026 | 7:11 PM

COLOMBO (News 1st) - දේශපාලන න්‍යාය පත්‍ර මත පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ බුද්ධි තොරතුරු හිතා මතා සඟවා සිටි බවට චෝදනා කිරීමෙන් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, හිටපු නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන හා පොලිස් පරීක්ෂක ඉන්දුක සිල්වා විසින්,රවී සෙනෙවිරත්නගේ සහ ශානි අබේසේකරගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇතැයි, ශ්‍රේෂ්ඨාධිකරණය අද (15) තීන්දු කළේ ය.

අධිකරණය එම තීන්දුව ලබා දුන්නේ, රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර ගොනුකළ පෙත්සමක තීන්දුව ප්‍රකාශයට පත්කරමිනි.

ඉකුත් ජනාධිපතිවරණ සමයේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් එවක නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් කළ පැමිණිල්ලකට අනුව කෙරෙන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න හා එහි හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා එම පෙත්සම ගොනුකර තිබිණි.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව පෙත්සම පිළිබඳව තීන්දුව අද ප්‍රකාශයට පත් කලේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංගයි.

හිටපු නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන විසින් දේශපාලන වුවමනා මත පෙත්සම්කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ද්වේශ සහගත ලෙස පැමිණිල්ල සිදු කරනු ලැබ ඇති බව විනිසුරු ගිහාන් කුලතංග තීන්දුව ලබා දෙමින් කියා සිටියේ ය.

විනිසුරුවරයා පැවසුවේ, අදාළ පැමිණිල්ල මත පදනම් වෙමින් සිදුකළ විමර්ශන හේතුවෙන් පෙත්සමේ දෙවන වගඋත්තරකාර ඉන්දුක සිල්වා, හත්වන වගඋත්තරකාර පාලිත සිරිවර්ධන සහ අටවන වගඋත්තකාර දේශබන්දු තෙණ්නකෝන් පෙත්සම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවයි.

ඒ අනුව විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන විසින් පෙත්සම්කරුවන්ට වෙන් වෙන්ව රුපියල් පනස් දහස බැගින් වන්දි මුදලක් ද  එවක ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දුක ද සිල්වා විසින් වෙන් වෙන්ව රුපියල් දසදහස බැගින් වූ වන්දි මුදලක් ද පෙත්සම්කරුවන්ට ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේ ය.

2023 වසරේ ජාතික ජන බලවේගයට අනුබද්ධ විශ්‍රාමික පොලිස් සාමූහිකය පිහිටුවා මහරගමදී පැවැත්වූ ප්‍රථම රැස්වීමෙන් පසුව එවක නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන සහ එවක සහකාර පොලිස් අධිකාරී සේනක කුමාරසිංහ ඇතුළු පිරිසක් විසින් මාධ්‍ය හමුවක් පවත්වා තමන්ට එරෙහිව ද්වේශසහගත සහ අසත්‍ය චෝදනා එල්ල කළ බව රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර සිය පෙත්සමේ සඳහන්කර තිබිණි.

පෙත්සමෙන් පෙන්වා දී තිබුනේ පාස්කු ප්‍රහාරය පිළිබඳව බුද්ධි තොරතුරු ලැබී තිබියදී හිතා මතා සඟවාගෙන සිටි බවට එම මාධ්‍ය හමුවේදී චෝදනා කළ බවයි.

පෙත්සම මගින් එම චෝදනා ප්‍රතික්ශේප කළ පෙත්සම්කරුවන් දෙදෙනා දේශපාලනික අරමුණු මත ගොනු කළ අසත්‍ය පැමිණිල්ලකට අනුව තමන්ව අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබා ගැනීමේ දැඩි අවදානමක් පවතින බව පෙන්වා දී තිබේ.

ඒ අනුව පැමිණිල්ල මත පදනම්ව තමන්ව අත්අඩංගුවට ගැනීම හෝ රඳවා තබා ගැනීම වළක්වාලමින් වගඋත්තරකරුවන්ට එරෙහිව අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබා ගැනීමේ නියෝග නිකුත් කිරීමෙන් වළකින ලෙස අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් පෙත්සමෙන් ඉල්ලා සිටියේ ය.

අද තීන්දුව ප්‍රකාශයට පත්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ පැමිණිල්ලට අදාළව පෙත්සම්කරුවන් අත්අඩංගුවට ගැනීම හෝ ඉදිරි විමර්ශන සිදුනොකරන ලෙසයි.