කොකේන් ගිල මෙරටට පැමිණි උගන්ඩා ජාතිකයෙකු අල්ලයි..

කොකේන් ගුලි තොගයක් ගිල මෙරටට පැමිණි උගන්ඩා ජාතිකයෙකු කටුනායකදී අත්අඩංගුවට...

by Staff writer 14-09-2026 | 11:42 AM

COLOMBO (News 1st) - කොකේන් ගුලි තොගයක් ගිල පැමිණි උගන්ඩා ජාතිකයෙකු, කටුනායක ගුවන්තොටුපළේ රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, උගන්ඩාවේ එන්ටෙබේ ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිට කටාර් රාජ්‍යයේ දෝහා හරහා, කටාර් ගුවන් සේවයට අයත් යානයකින් ඊයේ (13) අලුයම දිවයිනට පැමිණි අවස්ථාවේදීයි.

රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන්ට ලද බුද්ධි තොරතුරු මත සැකකරු පරීක්ෂාවට ලක් කර තිබිණි.

එහිදී ඔහු ගිල දැමූ කොකේන් ගුලි 13 ක් සොයාගත් බව, රේගුව සඳහන් කළේ ය.

ග්‍රෑම් 161 කට ආසන්න බරකින් යුත් ඒවායේ ඇස්තමේන්තුගත වීදි වටිනාකම රුපියල් මිලියන 7.245 ක් පමණ වේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයයි.

තවත් මත්ද්‍රව්‍ය අඩංගු ගුලි ගිල දමා ඇති බවට වන සැකය මත, සැකකරු මීගමුව රෝහලට ඇතුළත් කර තිබේ.