2006-08-10 දිනට අදාළ කැබිනට් තීරණ මෙන්න...

2006-08-10 දිනට අදාළ කැබිනට් තීරණ මෙන්න...

by Staff writer 11-08-2026 | 4:33 PM

COLOMBO (News 1st) - 01. උතුරු සහ නැගෙනහිර පළාත් ඒකාබද්ධ ප්‍රාදේශීය සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම

ලෝක බැංකු සමූහයේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 1,000ක මූල්‍ය ප්‍රතිපාදන 2026 ‑ 2031 කාලසීමාව තුළ මෙරටට ලබා දීමට නියමිත අතර, ඉන් ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක් උතුරු සහ නැගෙනහිර පළාත් ඒකාබද්ධ ප්‍රාදේශීය සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට වෙන් කරනු ලැබ ඇත. 2026-02-09 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ලද අනුමැතිය අනුව එම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ ණය පහසුකම ලබා ගැනීම පිණිස ශ්‍රී ලංකා රජය සහ ලෝක බැංකු සමූහය අතර පැවති ණය සම්මුති සාකච්ඡා අවසන් කර තිබේ. එම ඒකාබද්ධ ප්‍රාදේශීය සංවර්ධන වැඩසටහන මඟින් ආර්ථික විභවයන් සහිත කාණ්ඩ ශක්තිමත් කිරීම, ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් ප්‍රවර්ධනය කිරීම, ආර්ථික අවස්ථා වැඩිදියුණු කිරීම හා සම්බන්ධතා පුළුල් කිරීම මඟින් ජනතාවගේ ජීවනෝපායන් ඉහළ නැංවීම, තිරසර ප්‍රාදේශීය සංවර්ධනය හරහා උතුරු හා නැගෙනහිර පළාත්වල ප්‍රාදේශීය ආර්ථික වර්ධනය වේගවත් කිරීම සහ තරගකාරිත්වය ඉහළ නැංවීම ද අපේක්ෂා කෙරේ. ඒ අනුව, යෝජිත වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක මූල්‍ය පහසුකම ලෝක බැංකු සමූහයේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය වෙතින් ලබා ගැනීම සඳහා අවශ්‍ය මූල්‍ය ගිවිසුම්වලට එළඹීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

02. වී අලෙවි මණ්ඩලය සතු වී තොග සහල් බවට පරිවර්තනය කර වෙළෙඳපොළට නිකුත් කිරීම

2026-07-22 දින පවත්වනු ලැබ ඇති 34 වන ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටු රැස්වීමේදී රජය මඟින් වී මිල දී ගැනීමේ ක්‍රියාවලිය සඳහා පහසුකම් සැලසීම අරමුණු කර ගනිමින් වී අලෙවි මණ්ඩලය සතු වී තොග, සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව මඟින් සහල් බවට පත් කර වෙළෙඳපොළට නිකුත් කිරීමට නිර්දේශ කරනු ලැබ තිබේ. ඒ අනුව, එකී නිර්දේශ මත පදනම්ව පහත සඳහන් පරිදි පියවර ගැනීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමා; සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

වී අලෙවි මණ්ඩලය සතු වී තොගයෙන් වී මෙට්‍රික්ටොන් 30,000ක් සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව මඟින් සහල් බවට පත් කිරීම.
වී මෙට්‍රික්ටොන් 30,000ක් සහල් බවට පත් කර කිලෝග්‍රෑම් 5, කිලෝග්‍රෑම් 10, කිලෝග්‍රෑම් 25 සහ කිලෝග්‍රෑම් 50 ඇසුරුම් ලෙස සැපයීම සඳහා සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව විසින්, වී අලෙවි මණ්ඩලය යටතේ ලියාපදිංචි වී ඇති වී මෝල් හිමියන් වෙතින් අභිලාෂ කැඳවීම.
2025-12-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව වී අලෙවි මණ්ඩලය, සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව, සීමාසහිත ලංකා සතොස, ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනය සහ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය යන ආයතනවල නිලධාරින්ගෙන් සමන්විතව පත් කරනු ලැබ ඇති මිල කමිටුව විසින් වී, සහල් බවට පරිවර්තන අනුපාතය සහ සහල් සඳහා සුදුසු මිල තීරණය කිරීම.
ඉහත පරිදි නිෂ්පාදනය කරනු ලබන සහල් සීමාසහිත ලංකා සතොස, සමූපකාර ජාලය සහ පුද්ගලික පාර්ශ්වයන් මඟින් වෙළෙඳපොළට නිකුත් කිරීම.

03. 'World CIO 200 Awards & Roadshow 2026' වැඩසටහන ශ්‍රී ලංකාවේදී පැවැත්වීම සඳහා සත්කාරකත්වය දැරීම

'World CIO 200 Awards & Roadshow' වැඩසටහන, ප්‍රධාන තොරතුරු නිලධාරින්, ප්‍රධාන අත්දැකීම් නිලධාරින්, ඩිජිටල් පරිවර්තන නායකයින්, නවෝත්පාදකයින්, ආයෝජකයින් සහ ව්‍යාපාරික විධායකයින් සඳහා වන ලොව ප්‍රමුඛතම වේදිකාවක් ලෙස සලකනු ලබයි. එම වැඩසටහනේ මීළඟ අදියර එළඹෙන සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට යෝජනා කරනු ලැබ තිබේ. එකී වැඩසටහන ගෝලීය වශයෙන් GEC Media Group විසින් සංවිධානය කරනු ලබන අතර, සියලු වියදම් දැරීමට යටත්ව HTP Global Technologies LLC විසින් මෙරට පවත්වනු ලබන වැඩසටහන කළමනාකරණය සහ මූල්‍යකරණය සිදු කරනු ඇත. ජාත්‍යන්තර සමුළුවක්, නායකත්ව සංසද, ව්‍යාපාරික සබඳතා ගොඩනැගීමේ සැසි, ආයෝජන ප්‍රවර්ධන ක්‍රියාකාරකම්, ව්‍යාපාර අතර හමුවීම්, ප්‍රදර්ශන සහ සම්මාන ප්‍රදානෝත්සවයක් යන අංගයන්ගෙන් සමන්විත සිව් දින වැඩසටහනක් ලෙස එය පැවැත්වීමට සැලසුම් කර ඇත. ඒ සඳහා රටවල් 50කට අධික සංඛ්‍යාවක ජ්‍යෙෂ්ඨ විධායකයින් 400කට අධික පිරිසක් සහභාගි වීමට නියමිතව තිබේ. එමෙන්ම, නවෝත්පාදනය, තරුණ සහභාගිත්වය, ක්‍රීඩා සංචාරක ව්‍යාපාරය සහ ප්‍රජා සහභාගිත්වය දිරි ගැන්වීම සඳහා ජාත්‍යන්තර 'Tech Marathon' වැඩසටහනක් ද එයට ඇතුළත් කර ඇත. එකී වැඩසටහන පැවැත්වීම මඟින් මෙරටට හිමිවන ආර්ථික, සංචාරක ආයෝජන සහ උපායමාර්ගික ප්‍රතිලාභ සැලකිල්ලට ගෙන 'World CIO 200 Awards & Roadshow 2026' වැඩසටහන සහ 'Tech Marathon' වැඩසටහන එළඹෙන සැප්තැම්බර් මාසයේදී පැවැත්වීම සඳහා ශ්‍රී ලංකාව විසින් සත්කාරකත්වය දරනු ලැබීම පිණිස විද්‍යා හා තාක්ෂණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

04. 'පශ්චාත් දිට්වා සුළි කුණාටු ප්‍රතිසංස්කරණ හා ජීවනෝපාය සහය ව්‍යාපෘතිය' ක්‍රියාත්මක කිරීම

'පශ්චාත් දිට්වා සුළි කුණාටු ප්‍රතිසංස්කරණ හා ජීවනෝපාය සහය ව්‍යාපෘතිය' ක්‍රියාත්මක කිරීම සඳහා ණය පහසුකමක් ලබා ගැනීම වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුව සමඟ සාකච්ඡා පැවැත්වීම පිණිස 2026-06-15 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, පවත්වනු ලැබ ඇති සාකච්ඡා මත පදනම්ව, අදාළ ණය පහසුකම යටතේ ආසියානු සංවර්ධන බැංකුවේ සහනදායී සාමාන්‍ය ප්‍රාග්ධන සම්පත් වෙතින් ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක් සහ නිත්‍ය සාමාන්‍ය ප්‍රාග්ධන සම්පත් වෙතින් ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක් ලබා ගැනීමට නියමිතව තිබේ. සුළි කුණාටුව හේතුවෙන් හානි වූ මාර්ග යටිතල පහසුකම් පුනරුත්ථාපනය හා ප්‍රතිසංස්කරණය කිරීම, හානි වූ වාරිමාර්ග පද්ධති යථා තත්ත්වයට පත් කිරීම සහ බලපෑමට ලක් වූ පවුල්වල ජීවනෝපාය සහ නිවාස යථා තත්ත්වයට පත් කිරීම යන ප්‍රධාන සංරචක 03 සඳහා එම ණය පහසුකම යොදා ගැනීමට සැලසුම් කර ඇත. ඒ අනුව, එකී මූල්‍ය පහසුකම ආසියානු සංවර්ධන බැංකුව වෙතින් ලබා ගැනීම සඳහා අදාළ මූල්‍ය ගිවිසුම්වලට එළඹීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

05. ලංකා මෙට්‍රො ට්‍රාන්සිට් (පුද්ගලික) සමාගම වෙත හිමිකම් ප්‍රාග්ධනය සලසා දීම

මෙරට පොදු ප්‍රවාහනය නවීකරණය කිරීමේ අරමුණින් 2007 අංක 7 දරන සමාගම් පනතේ විධිවිධාන යටතේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් පරිපාලිත සමාගමක් ලෙස ලංකා මෙට්‍රො ට්‍රාන්සිට් (පුද්ගලික) සමාගම 2025-10-03 දින සංස්ථාගත කරනු ලැබ ඇත. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ වෙන් කර දෙන ලද අරමුදල් මඟින් මිල දී ගනු ලැබූ පත්ල පහත් බස් රථ 10ක් යොදා ගනිමින් එම සමාගම විසින් ආරම්භ කරනු ලැබ ඇති කොළඹ නාගරික ප්‍රවාහන නියමු මෙහෙයුම් කටයුතුවල වර්තමාන ප්‍රගතිය සැලකිල්ලට ගැනීමේදී එම සේවාවේ වාණිජමය ශක්‍යතාව සහ මහජන පිළිගැනීම තහවුරු වී තිබේ. ඒ අනුව, එම සමාගම විසින් එළඹෙන සැප්තැම්බර් මාසයේදී තවත් පත්ල පහත් බස්රථ 112ක් සේවයේ යෙදවීමට සැලසුම් කර ඇත. අදාළ මෙහෙයුම් කටයුතු විධිමත්ව හා කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා ඒකල ප්‍රදේශයේ අංග සම්පූර්ණ මධ්‍යම වැඩපොළක් ඉදි කිරීම, තලංගම, කඩවත, රත්මලාන හා හෝමාගම යන ස්ථානයන්හි නවීන බස් ඩිපෝ ඉදි කිරීම, අභ්‍යන්තර මාර්ග හා බස් නැවතුම් අංගන සංවර්ධනය කිරීම ආදී යටිතල පහසුකම් කඩිනමින් සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව හඳුනා ගනු ලැබ තිබේ. ඒ අනුව, එකී යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ කටයුතු වෙනුවෙන් යොදා ගැනීම සඳහා ලංකා මෙට්‍රො ට්‍රාන්සිට් (පුද්ගලික) සමාගම වෙත රුපියල් මිලියන 800ක් මෙම වර්ෂය තුළදී සහ 2027 වසරේ සමාගමේ මෙහෙයුම් කටයුතු සඳහා තවත් රුපියල් මිලියන 267.5ක් වශයෙන් හිමිකම් ප්‍රාග්ධනය සලසා දීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

06. අධිවේගී මාර්ග ක්‍රියාත්මක කිරීම සහ නඩත්තු කිරීම සඳහා වාහන සහ යන්ත්‍රෝපකරණ ප්‍රසම්පාදනය

කිලෝමීටර 312ක දුර ප්‍රමාණයකින් යුතු අධිවේගී මාර්ග වසර 10ක් පමණ කාලයක් තිස්සේ මෙරට තුළ භාවිත වෙමින් පවතින අතර, ආසන්න වශයෙන් කිලෝමීටර 92ක් පමණ සම්පූර්ණ දුරකින් යුතු වරාය ප්‍රවේශ අධිවේගී මාර්ගය, මධ්‍යම අධිවේගී මාර්ගයේ I කොටස (කඩවත සිට මීරිගම දක්වා) සහ මධ්‍යම අධිවේගී මාර්ගයේ III කොටස (පොතුහැර සිට ගලගෙදර දක්වා) 2027 ‑ 2028 කාලසීමාව තුළ දී භාවිතයට එක් කිරීමට නියමිතය. අලුතින් ඉදි කරනු ලබන අධිවේගී මාර්ග ක්‍රියාත්මක කිරීමට සහ නඩත්තු කිරීමට ද, පවතින අධිවේගී මාර්ග සඳහා දැනට භාවිත කරන ඇතැම් වාහන සහ යන්ත්‍රෝපකරණ යල් පැන ගිය මට්ටමක පවතින බැවින් ඒවා ප්‍රතිස්ථාපනයට ද මාර්ග සංවර්ධන අධිකාරිය වෙත නව වාහන සහ යන්ත්‍රෝපකරණ මිල දී ගැනීමේ අවශ්‍යතාව හඳුනා ගනු ලැබ ඇත. ඒ අනුව, එම කාර්යයන් සඳහා අධිවේගී මාර්ග ඉපයීම්වලින් රුපියල් මිලියන 1,200ක ඇස්තමේන්තුගත පිරිවැයක් යටතේ පහත සඳහන් පරිදි වාහන සහ යන්ත්‍රෝපකරණ 21ක් ප්‍රසම්පාදනය කිරීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

07. රජය සතු ඌන උපයෝජිත ඉඩම් තෝරා ගනු ලබන ආයෝජකයින්/ව්‍යවසායකයින් වෙත දිගුකාලීන බදු පදනම මත ලබා දීමේ වැඩසටහන

විදේශ රැකියාවල නිරත වී මෙරටට විදේශ විනිමය ප්‍රේෂණය කරනු ලැබ ඇති හෝ කරනු ලබන තරුණ ව්‍යවසායකයින්හට වැවිලි ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීමට අවස්ථාව සලසා දිය හැකි වන පරිදි, ඌන උපයෝජිත ඉඩම්වලින් ඉඩම් කොටස් දිගුකාලීන බදු පදනම මත ලබා දීම සඳහා යෝග්‍ය වැඩසටහනක් සකස් කිරීම පිණිස 2026-01-12 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය විසින් අදාළ පාර්ශ්වයන් සමඟ සාකච්ඡා පවත්වා එම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා වන ක්‍රමවේදයක් සකස් කරනු ලැබ ඇත. ඒ අනුව, ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව සතු හෙක්ටයාර 117ක්, ජනතා වතු සංවර්ධන මණ්ඩලය සතු හෙක්ටයාර 88ක් සහ සීමාසහිත ඇල්කඩුව වැවිලි සමාගම සතු හෙක්ටයාර 42ක් වශයෙන් වන ඌන උපයෝජිත ඉඩම් හෙක්ටයාර 247ක් පහත සඳහන් නිර්ණායක යටතේ හඳුනා ගනු ලබන සුදුසු ආයෝජකයින් වෙත දිගුකාලීන බදු පදනම මත බැහැර කිරීම පිණිස වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

ආයෝජකයෙකුගේ උපරිම වයස අවුරුදු 50ක් ලෙස සැලකීම.
වැවිලි/කෘෂිකාර්මික කටයුතු, වැවිලි ආශ්‍රිත සංචාරක ප්‍රවර්ධන කටයුතු, පශු සම්පත් සංවර්ධනය, ජල විදුලිබල උත්පාදනය, සූර්ය බලශක්ති උත්පාදනය, කර්මාන්තශාලා ආශ්‍රිත නිෂ්පාදන කටයුතු, මිරිදිය මත්ස්‍ය කර්මාන්තය සහ වෙනත් වැවිලි ආශ්‍රිත ආර්ථික නවෝත්පාදන කටයුතු යන ක්ෂේත්‍ර සඳහා ආයෝජන අවස්ථා ලබා දීම.
විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය හරහා තෝරා ගනු ලබන එක් ආයෝජකයෙකු වෙත උපරිම හෙක්ටයාර 1‑4 අතර ඌන උපයෝජිත ඉඩම් කොටසක් දිගුකාලීන බදු පදනම මත ලබා දීම.
පසුගිය වසර 10ක කාලය තුළ වසර 03ක් හෝ ඊට වැඩි කාලයක් විදෙස්ගත රැකියාවක නියුක්තව සිටි හෝ විදේශ ශ්‍රමිකයෙකු ලෙස දැනටමත් වසර 03කට වැඩි කාලයක් සේවයේ නියුතු පුද්ගලයන් සඳහා වැඩසටහන යටතේ ප්‍රමුඛතාව ලබා දීම.

08. පොල් ඉඩම් පුනරුත්ථාපන විශේෂ වැඩසටහන

මෙරට තුළ පොල් ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීම සඳහා සහ ඉදිරි මාසවල ඇතිවේ යැයි පුරෝකථනය කරනු ලැබ ඇති 'එල්නිනෝ' තත්ත්වයෙන් පොල් වගාව ආරක්ෂා කිරීම සඳහා පොල් ඉඩම්වල ඵලදායිතාව වර්ධනය කිරීමේ සහ තිරසර වගා ක්‍රම ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාව හඳුනා ගනු ලැබ ඇත. ඒ සඳහා සුළු පරිමාණ පොල් ඉඩම් හිමියන් දිරි ගැන්වීමේ අරමුණින් පොල් ඉඩම් පුනරුත්ථාපන විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරනු ලැබ තිබේ. එම වැඩසටහන යටතේ 2026 වසරේදී අක්කර 85,000ක් පමණ වන පොල් ඉඩම් ප්‍රමාණයක් ආවරණය කිරීමට ද, අඛණ්ඩව වසර 03ක කාලයක් සඳහා එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ද අපේක්ෂා කර ඇත. ඒ අනුව, අක්කර 05ක් හෝ ඊට අඩු පොල් ඉඩම් හිමි සුළු පරිමාණ පොල් වගාකරුවන් වෙත පහත සඳහන් කාර්යයන් සඳහා වැය කරනු ලබන මුදලින් 65%ක උපරිමයකට යටත්ව දිරිගැන්වීම් ලබා දීම පිණිස වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

09. මාතෘ සහ මුල් ළමාවිය පෝෂණ සේවා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම

කොවිඩ් ‑19 වසංගත තත්ත්වයෙන් පසු මෙරට ඇති වූ ආර්ථික අර්බුදයට අදාළ ඇතැම් සාධක හේතුවෙන් අවදානමට ලක් විය හැකි ජන කණ්ඩායම්වල පෝෂණ තත්ත්වය පහත වැටී ඇති බව වාර්තා වී ඇත. එම තත්ත්වය විශේෂයෙන්ම, නුවරඑළිය, රත්නපුර, පොළොන්නරුව සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කයන්හි උග්‍ර ගැටලුවක් බවට පත්ව තිබේ. එබැවින්, එම දිස්ත්‍රික්කයන්හි ගර්භණී හා කිරි දෙන මව්වරුන් සහ වයස අවුරුදු 05ට අඩු ළමුන් වෙනුවෙන් තෝරා ගත් ප්‍රජා පාදක පෝෂණ මැදිහත්වීම් සඳහා ප්‍රවේශය වැඩි කිරීම පිණිස ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. ඒ අනුව, ලෝක බැංකු සමූහයේ ජපන් සමාජ සංවර්ධන අරමුදලේ ඇමෙරිකානු ඩොලර් මිලියන 2.73ක ප්‍රදානයක් යටතේ වසර 03ක කාලයක් සඳහා එකී දිස්ත්‍රික්කයන් තුළ මාතෘ සහ මුල් ළමාවිය පෝෂණ සේවා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

10. ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුව සඳහා විශෝධන මධ්‍යස්ථානයක් ඉදි කිරීම

1999 අංක 46 දරන ප්‍රජා පාදක විශෝධන පනත යටතේ සංචාරක අධිකරණ සහ මහේස්ත්‍රාත් අධිකරණ විසින් සුළු වරදකරුවන් වෙත ප්‍රජා පාදක විශෝධන ආඥා නියෝග ලබා දෙනු ලබයි. ඒ අතරින් බහුතරයක් මත්ද්‍රව්‍ය හෝ මධ්‍යසාර සම්බන්ධයෙන් වරදකරුවන් වන අතර, ඔවුන් ඉන් මුදවා යහපත් පුරවැසියන් ලෙස සමාජගත කිරීම සඳහා විශේෂ අවධානය යොමු කර සාමාජීය හා ආර්ථික වශයෙන් නගා සිටුවීම පිණිස ප්‍රජා පාදක විශෝධන ක්‍රියාවලියට යොමු කරනු ලබයි. කෙසේ වුවද, ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුව සතුව අධික ලෙස මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වී වරදකරුවන් වූ පුද්ගලයින් සඳහා නේවාසික ප්‍රතිකාර ලබා දීමට අවශ්‍ය සුදුසු නේවාසික මධ්‍යස්ථාන ප්‍රමාණවත් සංඛ්‍යාවක් නොමැත. එමෙන්ම, එම දෙපාර්තමේන්තුව සතුව කිසිදු නේවාසික/අනේවාසික විශෝධන මධ්‍යස්ථානයක් ද නොපවතී. එබැවින්, එම තත්ත්වය සැලකිල්ලට ගෙන, කැකිරාව ප්‍රදේශයේ හඳුනා ගනු ලැබ ඇති හෙක්ටයාර 1.33ක භූමියක අධිකරණ මඟින් යොමු කරන මත්ද්‍රව්‍ය සඳහා යොමු වූ නියෝගලාභීන් වෙනුවෙන් විශෝධන මධ්‍යස්ථානයක් ඉදි කිරීම සඳහා රුපියල් මිලියන 635ක ඇස්තමේන්තුගත පිරිවැයක් යටතේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

11. 'දිට්වා' ආපදාවෙන් බලපෑමට ලක් වූ පූජනීය ස්ථාන යළි ගොඩනැංවීමේ වැඩසටහන

'දිට්වා' ආපදා තත්ත්වය හේතුවෙන් බෞද්ධ විහාරස්ථාන 758ක්, හින්දු ආගමික ස්ථාන 272ක්, මුස්ලිම් ආගමික ස්ථාන 199ක් සහ ක්‍රිස්තියානි ආගමික ස්ථාන 99ක් විවිධ ආපදාවන්ට ලක්ව ඇති බව වාර්තා වී ඇත. 2026-04-27 සහ 2026-06-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණ පරිදි වෙන් කරන ලද රුපියල් මිලියන 329.62ක් ඇතුළුව බුද්ධශාසන අරමුදල, මධ්‍යම සංස්කෘතික අරමුදල හා අනගාරික ධර්මපාල පදනම විසින් යොදවන ලද රුපියල් මිලියන 929.69ක අරමුදල් භාවිත කරමින් මේ වන විට එම පූජනීය ස්ථාන අතරින් පූජනීය ස්ථාන 256ක ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමට පියවර ගනු ලැබ ති‌බේ. හානියට පත්ව ඇති ඉතිරි පූජනීය ස්ථාන අතරින් තවත් පූජනීය ස්ථාන 144ක් රුපියල් මිලියන 232.07ක ප්‍රතිපාදන යොදා ගනිමින් ප්‍රතිසංස්කරණය කිරීම පිණිස බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

12. නොරොච්චෝලේ ලක්විජය විදුලි බලාගාරය වෙත ගල්අඟුරු ප්‍රසම්පාදනය

2026/2027 කාලසීමාව සඳහා නොරොච්චෝලේ ලක්විජය විදුලි බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු මෙට්‍රික්ටොන් මිලියන 2.28 (±10%) ප්‍රසම්පාදනය කිරීම පිණිස 2026-03-30 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. එසේම, සැපයුමට බාධාවක් වීමේ අවදානම වළක්වා ගනිමින් රට තුළ බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කිරීමට හැකි වන පරිදි ගල්අඟුරු සැපයීම් වාරයක් සඳහා ගල්අඟුරු සැපයුම්කරුවන් දෙදෙනෙකු තෝරා ගැනීම පිණිස ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව විසින් එකඟතාව ලබා දී ඇත. ඒ අනුව, ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා ඇති අතර, ලංසු 09ක් ලැබී තිබේ. එම ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ මත පදනම්ව එකී ප්‍රසම්පාදනය පහත සඳහන් පරිදි ප්‍රදානය කිරීම පිණිස බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

13. මුතුරාජවෙල පර්යන්තයේ නව ඉන්ධන ගබඩා ටැංකි තුනක් (03) ඉදි කිරීම

ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ අරමුදල් යොදා ගනිමින් මුතුරාජවෙල පර්යන්තයේ ඝනමීටර 15,000ක ඉන්ධන ගබඩා ටැංකි 02ක් සහ ඝනමීටර 10,000ක ඉන්ධන ගබඩා ටැංකියක් ඉදි කිරීම සඳහා 2025-06-02 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. එමෙන්ම, එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී පාරිසරික, නෛතික සහ අනෙකුත් අවශ්‍යතාවන් සපුරාලීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රමවේද පිළිබඳව අදාළ පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කර යෝග්‍ය තීරණවලට එළඹෙන ලෙස බලශක්ති ඇමතිතුමාගෙන් සහ පරිසර ඇමතිතුමාගෙන් ඉල්ලා සිටීමට 2026-07-20 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කරනු ලැබ ඇත. ඒ අනුව, මධ්‍යම පරිසර අධිකාරිය විසින් නියම කර ඇති නිර්දේශ සහ කොන්දේසි එම ප්‍රසම්පාදනයේ කොන්ත්‍රාත් ගිවිසුමට ඇතුළත් කරනු ලැබ ඇති බව සහ වන සත්ව හා වෘක්ෂලතා ආඥාපනතේ විධිවිධානවලට අනුකූලව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබන බව බලශක්ති ඇමතිතුමා සහ පරිසර ඇමතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කිරීමට කටයුතු කරන ලදී. ඒ අනුව, ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය අනුව ලංසු ඉදිරිපත් කරන ලද ලංසුකරුවන් අතරින්, ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කරනු ලැබ ඇති සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන M/s Indo-East Engineering & Construction (Lanka) (Private) Limited and Ceylex Engineering (Private) Limited Joint Venture වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 3.04ක (එකතු කළ අගය මත බදු රහිත) සහ ශ්‍රී ලංකා රුපියල් මිලියන 2,796.14ක (එකතු කළ අගය මත බදු රහිත) මුදලකට එකී කොන්ත්‍රාත්තුව පිරිනැමීම පිණිස බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

14. පෙට්‍රල්, මර්බන් වර්ගයේ බොරතෙල් සහ ඩීසල් ප්‍රසම්පාදනය කිරීම

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව විසින් පෙට්‍රල් 92 Unl, මර්බන් වර්ගයේ බොරතෙල් සහ ඩීසල් (0.05% M.S.) දිගුකාලීන කොන්ත්‍රාත්තු යටතේ මිල දී ගැනීම පිණිස එම සංස්ථාවේ ලියාපදිංචි සැපයුම්කරුවන් වෙතින් සීමිත ජාත්‍යන්තර තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා ඇත. ඒ අනුව ඉදිරිපත් වූ ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටු විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ මත පදනම්ව, සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරුවන් වෙත පහත පරිදි එකී ප්‍රසම්පාදනයන් පිරිනැමීම පිණිස බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

15. 1990 අංක 23 දරන ධීවර විශ්‍රාම වැටුප් සහ සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ යෝජනාක්‍රම පනත සංශෝධනය කිරීම

1990 අංක 23 දරන ධීවර විශ්‍රාම වැටුප් සහ සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ යෝජනාක්‍රම පනතේ විධිවිධාන හා රෙගුලාසි, කාලීන අවශ්‍යතාවයන් හා ධීවර ප්‍රජාවට ගැළපෙන පරිදි සංශෝධනය කිරීමේ අවශ්‍යතාව හඳුනා ගනු ලැබ තිබේ. එම පනතට සිදු කළ යුතු යෝග්‍ය සංශෝධන යෝජනා කිරීම පිණිස නිලධාරි කමිටුවක් ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් විසින් පත් කරනු ලැබ ඇත. ධීවර විශ්‍රාම වැටුපට දායක වීම මත ලැබෙන ප්‍රතිලාභ ඉහළ නැංවීම සඳහා සහ ධීවරයින් වයස්ගත වීමේදී සමාජ ආරක්ෂණය තහවුරු කිරීම සඳහා ධීවර විශ්‍රාම වැටුප් හා සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ යෝජනා ක්‍රමය සංශෝධනය කිරීම පිණිස එම කමිටුව විසින් යෝජනා ඉදිරිපත් කරනු ලැබ තිබේ. එ් අනුව, එකී යෝජනා මත පදනම්ව 1990 අංක 23 දරන ධීවර විශ්‍රාම වැටුප් සහ සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ යෝජනාක්‍රම පනත සංශෝධනය කිරීම පිණිස පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීම සඳහා ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

16.  ආගමන පනත් කෙටුම්පත

1948 අංක 20 දරන ආගාමික හා විගාමික පනත වෙනුවට නව පනතක් හඳුන්වා දීම සඳහා සකස් කරන ලද පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර තිබියදී 2024-09-24 දින නව වන පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හේතුවෙන් එකී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදු කිරීමට හැකි වී නොමැත. ඉන් අනතුරුව, එකී පනත් කෙටුම්පතට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දී තිබූ තීරණය ද සැලකිල්ලට ගනිමින්, නව පනතක් කෙටුම්පත් කිරීම පිණිස 2025-08-18 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. එමෙන්ම, ඉදිරියේදී නිකුත් කිරීමට නියමිත ඉලෙක්ට්‍රොනික ගමන් බලපත්‍රයේ චිපයට ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කරනු ලබන Country Signing Certification Authority ලෙස ආගමන හා විගමන විෂය භාර අමාත්‍යාංශයේ ලේකම් නම් කිරීම සඳහා එම නව පනත් කෙටුම්පතට යෝග්‍ය ප්‍රතිපාදන ඇතුළත් කිරීම සඳහා ද 2025-12-10 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව, එම විධිවිධාන ද ඇතුළත් කරමින් නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති ආගමන පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

17.  යුද වාතාවරණ සමයේ අනුමත තොටුපොළකින් හා විධිමත් ගමන් බලපත්‍රයක් භාවිතයෙන් තොරව රටින් පිටව ගොස් ඉන්දියාවේ සරණාගතභාවය ලද ශ්‍රී ලාංකිකභාවය තහවුරු කරන ලද තැනැත්තන් ස්වේච්ඡාවෙන් පෙරලා සිය රට පැමිණිමේදී ආගමන නිෂ්කාශන පහසුකම් සැලසීම


යුද සමයේ රට තුළ වූ අස්ථාවර තත්ත්වය හේතුවෙන් අනුමත තොටුපොළකින් හා විධිමත් ගමන් බලපත්‍රයක් භාවිතයෙන් තොරව මෙරටින් ඉන්දියාව වෙත ගොස් අවතැන්ව සිට පසුව ඉන්දීය රජයේ සරණාගතයින් ලෙස ලියාපදිංචිය ලද තැනැත්තන් එක්සත් ජාතීන්ගේ සරණාගත මහ කොමසාරිස් කාර්යාලය (UNHCR) හරහා ස්වේච්ඡාවෙන් මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් සිටී. ඔවුන්ට මෙරටට පැමිණීම සඳහා අවශ්‍ය ආගමන නිෂ්කාශන පහසුකම් ලබා දීම සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබා ගෙන ඇත. නීතිපති විසින් ලබා දෙන ලද උපදෙස් අනුව පහත පියවර ගනිමින් ඉහත සඳහන් පරිදි ඉන්දියාවට ගොස් ඇති ශ්‍රී ලාංකිකයින්ට නැවත මෙරටට පැමිණීම සඳහා අවශ්‍ය විධිවිධාන සැලසීම පිණිස මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

2006-08-01 දිනට පෙර අනුමත තොටුපොළකින් හා විධිමත් ගමන් බලපත්‍රයක් භාවිතයෙන් තොරව රටින් පිටව ගොස් ඉන්දියාවේ අවතැන්ව සිට එරට ශ්‍රී ලංකා විදේශ දූත මණ්ඩල කාර්යාල මඟින් ශ්‍රී ලාංකිකයෙකු බවට අනන්‍යතාව තහවුරු කර ගන්නා පුද්ගලයින් සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයෙන් නිෂ්කාශන වාර්තාවක් ලබා ගැනීම.
ඔවුන් මිනීමැරුම්, රාජ්‍යද්‍රෝහිත්වය සහ නීතියෙන් විශේෂ විධිවිධාන සලසා ඇති හෝ නියම කරන ලද වැරදි සිදු නොකරන ලද පුද්ගලයෙකු බව තහවුරු කර ගැනීම.
අදාළ පුද්ගලයන් සඳහා තාවකාලික විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කර, 1948 අංක 20 දරන ආගාමික හා විගාමික පනතට අනුව කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමෙන් තොරව අනුමත තොටුපොළකින් රට තුළට ඇතුළු වීමට අවස්ථාව ලබා දීම.
2006-08-01 දින සිට මෙරට යුද්ධය අවසන් වූ 2009-05-19 දින දක්වා අනුමත තොටුපොළකින් හා විධිමත් ගමන් බලපත්‍රයක් භාවිතයෙන් තොරව රටින් පිටව ඉන්දියාව වෙත අවිධිමත්ව සංක්‍රමණය වූ ඉහත පරිදි අනන්‍යතාව තහවුරු කර ගැනීමෙන් අනතුරුව රාජ්‍ය බුද්ධි සේවයෙන් නිෂ්කාශන වාර්තාවක් ලබා ගන්නා ලද ශ්‍රී ලාංකිකයින්හට 1948 අංක 20 දරන ආගාමික හා විගාමික පනත මඟින් ආගමන හා විගමන පාලක ජනරාල් වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව එකී පනත යටතේ කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමෙන් තොරව අනුමත තොටුපොළකින් රට තුළට ඇතුළු වීමට අවස්ථාවක් ලබා දීම.
මිනීමැරුම්, රාජ්‍යද්‍රෝහිත්වය සහ නීතියෙන් විශේෂ විධිවිධාන ඇති හෝ නියම කළ යුතු වැරදි සඳහා වරදකරුවන් වන පුද්ගලයන් වෙතොත් , ඔවුන් තොටුපොළේදී රඳවා ගෙන අවශ්‍ය ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග සඳහා අදාළ ආයතන වෙත යොමු කිරීම.

18. ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත් කිරීම

ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ I ශ්‍රේණියේ නිලධාරිනියක වූ එච්.සී.පී.ජයවීර මහත්මිය පූර්ණකාලීන වැඩබැලීමේ පදනම මත ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත් කිරීම පිණිස 2024-12-30 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇති අතර, ඒ අනුව ඒ මහත්මිය මේ දක්වා එම තනතුරේ සේවය කරනු ලබයි. රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් 2026-01-31 දින සිට ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ විශේෂ ශ්‍රේණියට ඒ මහත්මිය උසස් කරනු ලැබ තිබේ. එදින සිට බලාත්මක වන පරිදි එච්.සී.පී.ජයවීර මහත්මිය ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට ස්ථිර පදනමින් පත් කිරීම පිණිස පරිසර අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.