වේගයෙන්ම දියුණුවන රටවල් අතර ලංකාව 04ට

ලෝකයේ වේගයෙන්ම දියුණුවන රටවල් අතර හතරවැනි ස්ථානය ශ්‍රී ලංකාවට.

by Staff writer 28-07-2026 | 12:32 PM

COLOMBO(News1st) - ශ්‍රී ලංකාව ලොව වේගයෙන්ම දියුණු වන රාජ්‍යයක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය ආයතනය ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ, 2026 ආයෝජක සබඳතා සහ ණය විනිවිදභාවය පිළිබඳ වාර්තාව නිකුත් කරමිනි.

ඒ අනූව ලෝකයේ වේගයෙන්ම දියුණුවන රටවල් අතර ශ්‍රී ලංකාව සිව්වැනි ස්ථානයට පත්ව තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය ආයතනය යනු ලොව පුරා පිහිටා ඇති ප්‍රධාන පෙළේ වාණිජ බැංකු, ආයෝජන අරමුදල්, වත්කම් කළමනාකරණ සමාගම් සහ අනෙකුත් මූල්‍ය ආයතන නියෝජනය කරන, ගෝලීය මට්ටමින් ස්වාධීනව ක්‍රියාත්මක වන ප්‍රමුඛතම මූල්‍ය සමාගමකි.

එමගින් නිකුත් කරන වාර්තා සහ දත්තවලට ගෝලීය මූල්‍ය ක්ෂේත්‍රයෙන් ලැබෙන ඇගයීම ඉතා ඉහළයි.

ජාත්‍යන්තර මූල්‍ය ආයතනය නිකුත් කරන 2026 ආයෝජක සබඳතා සහ ණය විනිවිදභාවය පිළිබඳ වාර්තාව පසුගිය දා එළි දැක්වුණි.

එම වාර්තාවේ පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාව ණය විනිවිදභාවය සහ ආයෝජන සබඳතා යන අංශවල වේගවත් දියුණුවක් පෙන්නුම් කරමින් සිටින බවයි.

ණය ප්‍රතිව්‍යහුගතකරණ ක්‍රියාවලියට පසුව, ශ්‍රී ලංකාව ආයෝජන විශ්වාසය තහවුරු කිරීමට කටයුතු කරමින් සිටින බවත් එම වාර්තාවේ සඳහන් වේ.

විනිවිදභාවයේ ප්‍රතිලාභය නම් මෙම වාර්තාවට අනුව, සමස්ත ආයෝජක සබඳතා පිළිබඳ රටක ලකුණු මට්ටම ශ්‍රී ලංකාවේ මේ වසරේ 43.67 දක්වා ඉහළ ගොස් තිබෙන අතර

පසුගිය වසරේ එම ලකුණු මට්ටම දැක්වුණේ  37.33 ක් ලෙසයි.

එමගින්, නැගී එන වෙළඳපොළ සහ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන් 57ක් අතරින් ඉහළම කාණ්ඩයට අයත් වීමට ශ්‍රී ලංකාවට හැකිව තිබේ.

එහි පළමු ස්ථානයේ වියනට්නාමයත්, දෙවැනි ස්ථානයේ බෙලීස් සහ තුන්වැනි ස්ථානයේ මොසැම්බික් රාජ්‍ය පසුවෙයි.

මේ අතර ණය විනිවිදභාවය පිළිබඳ නිශ්චිත ශ්‍රේණිගත කිරීම්වල 05 වන ස්ථානය දක්වා ඉහළට පැමිණීමටත් ශ්‍රී ලංකාව සමත්ව ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය ආයතනය නිකුත් කළ වාර්තාවේ සඳහන් වේ.

එහි දැක්වෙන්නේ රාජ්‍ය ණය කළමනාකරණය පිළිබඳ තොරතුරු නිවැරදිව හා විනිවිදභාවයකින් යුතුව ජාත්‍යන්තරයට ඉදිරිපත් කිරීමේ දී ශ්‍රී ලංකාව විශාල ප්‍රගතියක් අත්කර ගෙන ඇති බවයි.

පාරිසරික, සමාජීය සහ ආණ්ඩුකරණ දත්ත සහ ප්‍රතිපත්ති ජනගත කිරීමේ අංශයෙන්ද ශ්‍රී ලංකාව කැපී පෙනෙන ප්‍රගතියක් ලබා ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය ආයතනය නිකුත් කළ වාර්තාවේ සඳහන් වේ.

තායිලන්තය, ඉතියෝපියාව, එල් සැල්වදෝරය, බෙලිස් සහ නයිජීරියාව එම අංශයේ ඉදිරියෙන් පසුවෙයි.