හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප

තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධියට අදාළව අධිකරණයට ඉදිරිපත් වූ හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප

by Staff writer 22-07-2026 | 2:05 PM

COLOMBO (News1st) - හිටපු නාවික හමුදාපති අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න ඇප මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේ ය.  

සැකකරු මුදා හැරියේ රුපියල් ලක්ෂ 10 බැඟින් වූ ශරීර ඇප දෙකක් මතයි.

2008 - 2009 වර්ෂයේදී තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන යාමේ සිද්ධියට අදාළව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර තිබූ නඩුවේ වරෙන්තු නිකුත් වී සිටි නේවී සම්පත් හෙවත් හිටපු නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි හට සැඟව සීටීමට අධාර අනුබල ලබා දීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ හිටපු නාවික හමුදාපති අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව ඇති නඩුව අද යළි කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවේ කැඳවූයේ ය.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස නම් කර ඇප මත මුදා හැර සිටි සැකකාර හිටපු නාවික හමුදාපති අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න පසුගිය 2024 වසරේ ජනවාරි 03 වැනිදා එවක නීතිපතිවරයා ලෙස කටයුතු කළ නීතිපති සංජේ රාජ රත්නම්ගේ උපදෙස් මත නඩුවෙන් මුදා හැරියේ ය.

පසුව අගතියට පත් පාර්ශ්වයේ ඉල්ලීමක් සලකා බැලූ විමර්ශන නිලධාරීන් සැකකාර හිටපු නාවික හමුදාපති අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න පසුගිය ජුනි 10 වැනිදා යළිත් නඩුවේ සැකකරුවකු ලෙස නම් කළේ ය.

ඒ අනුව එදින සැකකරු හට අද දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කරමින් කොටුව මහේස්ත්‍රාත්වරයා නොතීසි නිකුත් කළ අතර එම නොතීසි නියෝග ප්‍රකාරව අද සැකකාර හිටපු නාවික හමුදාපති අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න අධිකරණය හමුවේ පෙනී සිටියේ ය.

ඒ අවස්ථාවේදී කරුණු සලකා බැලූ කොටුව මහේස්ත්‍රාතවරයා සැකකරු ඇප මත මුදා හැරීමට නියෝග කළේ ය.

සිද්ධියට අදාළව දැනට ඇප මත සිටින සැකකරුවන් වන හිටපු නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි හා ලක්සිරි අමරසිංහ යන අය ද අද නඩුව කැඳ වූ අවස්ථාවේ අධිකරණය හමුවේ පෙනී පෙනි සිටියේ ය.

සැකකරුවන් හට සංශෝධිත චෝදනා පත්‍ර අද කියවා දුන් අතර සැකකරුවන් ඊට තමන් නිවැරදිකරුවන් බව ප්‍රකාශ කර සිටියේ ය.

ඒ අනුව කරුණු සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත්වරයා නඩු විභාගය දෙසැම්බර් 9 වැනිදා ආරම්භ කිරීමට දින නියම කළේ ය.