ඩෙංගු මඩින්න සැරෙසෙන ඉන්දියාව..

ඉන්දියාව ඩෙංගු මඩින්න නව එන්නතක් භාවිතයට ගැනීමට සැරසෙයි..

by Staff writer 20-07-2026 | 7:43 PM

COLOMBO(News1st) - ඉන්දියාවේ ඖෂධ පාලක ජනරාල්වරයා කිව්ඩෙංගා ඩෙංගු එන්නත සදහා අනුමැතිය ලබාදී තිබේ.

එය ඉන්දියාව අනුමත කළ පළමු ඩෙංගු එන්නතයි.

ජපානයේ ටකිඩා බයෝෆාමසූටිකල්ස් ඉන්දියා සමාගම නිෂ්පාදනය කරන කිව්ඩෙංන්ගා එන්නත ඩෙංගු වෛරස් ප්‍රභේද හතරටම එරෙහිව ආරක්ෂාව සැළසීමට නිර්මාණය කර ඇතැයි ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ ය.

මීට පෙර ඩෙංගු වැළඳී තිබුණත් නැතත් ඕනෑම අයෙකුට එය ලබා දිය හැකියි.

එන්නත් කිරීමට පෙර පරීක්ෂණ සිදු කිරීම අවශ්‍ය නොවන බවද නිෂ්පාදකයින් පවසයි.

මෙම එන්නත සම යටට ලබා දෙන අතර, මිලිලීටර් 0.5 බැගින් වූ මාත්‍රා දෙකක් නියමිත පිළිවෙලකින් ලබාදිය යුතුයි.

දෙවන මාත්‍රාව පළමු මාත්‍රාවෙන් මාස තුනකට පසුව ලබා දිය යුතු බව ඉන්දීය මාධ්‍ය වාර්තාවල සදහන් ය.

අවුරුදු 4 සිට 60 දක්වා වයස් කාණ්ඩයේ පසුවන්නන් සඳහා භාවිත කිරීමට මෙම ඖෂධය අනුමත කර තිබේ.

2022 වසරේ නිෂ්පාදනය ආරම්භ කළ අවස්ථාවේ සිට කිව්ඩෙන්ගා එන්නත රටවල් 43 ක අනුමත වී ඇති අතර ගෝලීය වශයෙන් එන්නත් මාත්‍රා මිලියන 32 කට වඩා බෙදා හැර ඇතැයි නිෂ්පාදකයින් සදහන් කළේ ය.

එම එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානයේ පූර්ව සුදුසුකම් අනුමැතිය ලබාගෙන ඇති අතර එමගින් එන්නතෙහි ගුණාත්මකභාවය, ආරක්ෂිතබව සහ කාර්යක්ෂමතාව ජාත්‍යන්තර මට්ටමින් තහවුරු කරනු ලබයි.

මේ අතර එම එන්නත මෙරට භාවිතය සඳහා සුදුසුද නැත්ද යන්න සම්බන්ධයෙන් අනුමැතිය සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙත යොමු කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළේ ය.

නිව්ස් ෆස්ට් කළ විමසීමකදී ලේකම්වරයා පැවසුවේ එම අධිකාරියේ අවසන් තීරණයට යටත්ව ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරන බවයි.

මේ අතර, වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 76, 044 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

තවදුරටත් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ, ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවලින් ය.

එම ඒකකය පැවසුවේ මෙම මාසයේ ගතවු දින 19 දී පමණක් මෙරටින් ඩෙංගු රෝගීන් 20, 666 දෙනෙකු වාර්තා වී ඇති බවයි.

මේ වන විට වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 53 කි.

දිවයිනේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාස 162ක් තවදුරටත් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස නම් කර ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ ය.

මේ අතර,, සියලු විශ්වවිද්‍යාල සඳහා ඩෙංගු රෝගය නිරීක්ෂණය හා වැළැක්වීම පිළිබඳ සායණික කළමණාකරණ හා මාර්ගෝපදේශ එළිදැක්වූවා.

ඊට, ඩෙංගු රෝගය කල්තියා හඳුනාගැනීම, රෝගීන් නිසි පරිදි කළමණාකරණය කිරීම, රෝග නිරීක්ෂණය ශක්තිමත් කිරීම හා ඇතුලු ඇතුළත් ය.

මේ අතර, ඩෙංගු නවතමු - ජාතික ඩෙංගු මර්දන වැඩසටහන අදත් ක්‍රියාත්මක කෙරිණ.

ඒ කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් ය.

වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ, නිවුස් ෆස්ට් ප්‍රමුඛ කැපිටල් මහරාජා මාධ්‍ය ජාලය, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යංශය සමග ඒකාබද්ධවයි.