ඉරාන - ඇමරිකා සටන් විරාමය බිඳ වැටෙයි.

ඉරාන-ඇමරිකා සටන් විරාමය බිඳ වැටෙයි. ඉරාන යුද්ධය දීර්ඝ කිරීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් උත්සාහයක්!

by Staff writer 14-07-2026 | 10:09 AM

COLOMBO(News1st) - ඉරානයට එරෙහි ගැටුම් යළි ආරම්භ කළ බව නිල වශයෙන් දන්වමින්, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට කොංග්‍රසය වෙත ලිපියක් යොමු කර තිබේ. ජූලි 10 වැනිදා නිකුත් කළ අදාළ ලිපියේ දැක්වෙන්නේ, ජූලි 7 වැනිදා සිට එම ගැටුම් යළි ආරම්භ වූ බවයි.

ඇමරිකානුවන්ගේ සහ ඇමරිකාවේ ජාතික ආරක්ෂාව මෙන්ම විදේශ ප්‍රතිපත්ති ආරක්ෂා කිරීම සඳහා තමන්ට පැවරී ඇති වගකීමට අනුකූලව මෙම යුද මෙහෙයුම යළි ආරම්භ කළ බව ට්‍රම්ප් එම ලිපියේ පෙන්වා දී ඇත.

පෙබරවාරි 28 වැනිදා ආරම්භ වූ මෙම යුද්ධයේ සටන් විරාමයක් අප්‍රේල් 8 වැනිදා සිට ක්‍රියාත්මක වූ අතර, පසුව එය දීර්ඝ කෙරිණි. දෙපාර්ශ්වය අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුවේ පසුගිය ජූනි 17 වැනිදාය. කෙසේ වෙතත්, ඉරානය අවබෝධතා ගිවිසුමේ කොන්දේසි කඩකරමින් හෝමූස් සමුද්‍ර සන්ධියේ යාත්‍රා සඳහා ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන්, ඉරානයට එරෙහිව නව ප්‍රහාර දියත් කරන ලෙස තමන් හමුදාවට අණ දුන් බව ට්‍රම්ප් එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කරයි.

ඇමරිකානු ව්‍යවස්ථාවට අනුව රටකට එරෙහිව යුද ප්‍රකාශ කිරීමේ බලය ඇත්තේ කොංග්‍රසයට පමණි. එහෙත් ට්‍රම්ප් මෙන්ම හිටපු ජනාධිපතිවරුන් ද පෙන්වා දී ඇත්තේ, කෙටි කාලීන යුද මෙහෙයුම් සඳහා කොංග්‍රස් අවසරය අවශ්‍ය නොවන බවයි. ඇමරිකාවේ යුද බල පනතට අනුව, ජනාධිපතිවරයා හමුදා ක්‍රියාමාර්ගයක් දියත් කර පැය 48ක් තුළ කොංග්‍රසයට ඒ බව දැනුම් දිය යුතු අතර, කොංග්‍රස් අවසරයකින් තොරව ආරම්භ කෙරෙන යුද මෙහෙයුම් දින 60ක් තුළ අවසන් කළ යුතුය. ඉරානයට එරෙහි යුද්ධයේ පළමු දින 60 මැයි පළමුවැනිදා අවසන් විය.

ජනාධිපතිවරයාගේ මෙම බලය සීමා කිරීමට ඩිමොක්‍රටික් සභිකයින් අවස්ථා ගණනාවකදී උත්සාහ කළ ද, එය එතරම් සාර්ථක වී නොමැත. විදෙස් විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ, ජනාධිපති ට්‍රම්ප් කොංග්‍රසයට මෙම ලිපිය යොමු කිරීම හරහා තවදුරටත් දින 60ක කාල සීමාවක් ලබාගැනීමට අපේක්ෂා කරන බවයි.

පෙබරවාරි 28 වැනිදා යුද්ධය ආරම්භ කිරීමේදී ට්‍රම්ප් ප්‍රතිඥා දුන්නේ සති හයකින් ඉරානයේ යුද බලය විනාශ කර දමන බවයි. කෙසේ වෙතත්, රොයිටර් පුවත් සේවය පවසන්නේ, ඇමරිකානුවන් පස් දෙනෙකුගෙන් හතර දෙනෙකුම ඉරානයට එරෙහි ගැටුම් දීර්ඝ කාලයක් ඇදී යනු ඇතැයි අපේක්ෂා කරන බවයි. ඔවුන් සිදුකළ මත විමසුමකට අනුව, 60%ක් ඇමරිකානුවන් විශ්වාස කරන්නේ මෙම යුද්ධය හේතුවෙන් ඉදිරියේදී ඉන්ධන මිල තවත් ඉහළ යනු ඇති බවයි. එම සමීක්ෂණයට සහභාගී වූවන්ගෙන් 50%ක් ප්‍රකාශ කර ඇත්තේ, ඇමරිකාව දරන පිරිවැයට සාපේක්ෂව මෙම යුද්ධය නොවටිනා බවයි.