දමිළ ජනතාවගේ ගැටලු වෙනුවෙන් දේශපාලන පක්ෂ 6ක එකතුවක්...

by Staff writer 13-07-2026 | 2:50 PM

COLOMBO (News 1st) - උතුර, නැගෙනහිර සහ මලයගම් ඇතුලු දෙමළ භාෂාව කතා කරන ජනතාව මුහුණ දෙන පොදු ගැටලුවලදී එක්ව කටයුතු කිරීමට දේශපාලන පක්ෂ 6ක් තීරණය කර තිබේ.

ඔවුන් මේ බව දැනුම් දුන්නේ කොළඹදී පැවැත්වෙන ඒකාබද්ධ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මෙම මාධ්‍ය හමුව සඳහා ඉලංගෙයි තමිල් අරසු කච්චි, දෙමළ ප්‍රගතිශීලී සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, සමස්ත ලංකා මහජන කොංග්‍රසය, ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය සහ ලංකා කම්කරු කොංග්‍රසය යන පක්ෂවල නායකයින් සහ නියෝජිතයින් පිරිසක් එක්විය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය සන්ධානයේ ප්‍රධාන පක්ෂ වන දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් සහ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන්ද මෙම මාධ්‍ය හමුවට එක්ව සිටිමත් විශේෂත්වයකි.

එමෙන්ම එක්සත් ජාතික පක්ෂයෙන් මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වූ ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් ජීවන් තොණ්ඩමාන් මෙම ඒකාබද්ධ මාධ්‍ය හමුවට එක්විය.