එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් දිවයිනට

දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් එස්. පෝල් කපූර් දිවයිනට

by Staff Writer . 22-06-2026 | 8:48 AM

COLOMBO (News 1st) - දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් එස්. පෝල් කපූර් දිවයිනට පැමිණියේ ය.

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය නිවේදනය කළේ වෙළෙඳ, ආයෝජන සහ ආරක්ෂක සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ඔහු තුන්දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි බවයි.

ඉන්දියානු සාගර කලාපයේ ප්‍රධාන හවුල්කරුවෙකු වන ශ්‍රී ලංකාව සමග පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින්, ඇමරිකාවේ සමෘද්ධිය සහ ආරක්ෂාව ඉදිරියට ගෙන යන හවුල්කාරිත්වය වෙනුවෙන් ඇමරිකානු ජනාධිපතිවරයා දක්වන කැපවීම මෙම සංචාරය මගින් පිළිබිඹු කෙරෙන බව, ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය සඳහන් කළේ ය.

ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලය තුළ ඔහු රජයේ ඉහළ නිලධාරින්, පෞද්ගලික අංශයේ විධායක නිලධාරීන් සහ එක්සත් ජනපද සමාගම්වල නියෝජිතයන් හමුවීමට නියමිතයි.

එහිදී දෙරට අතර ද්විපාර්ශ්වික වෙළෙඳාම හා ආයෝජන පුළුල් කිරීම, ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීම සහ කලාපයේ සහයෝගිතාව ඉදිරියට ගෙන යාම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට සැලසුම් කර තිබේ.

2025 ඔක්තෝබර් 22 වන දින දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම්වරයා ලෙස පත්වූ එස්. පෝල් කපූර් ජාත්‍යන්තර ආරක්ෂාව සහ දකුණු ආසියානු කලාපීය දේශපාලනය පිළිබඳ ප්‍රකට විද්වතෙකි.

ඔහු  එක්සත් ජනපද නාවික පශ්චාත් උපාධි පාසලේ, ජාතික ආරක්ෂක කටයුතු දෙපාර්තමේන්තුවේ මහාචාර්යවරයෙකු ලෙසද සේවය කර තිබේ.