ගතවූ පැය 24 තුළ නව ඩෙංගු රෝගීන් 681ක් හඳුනා ගැනේ.

ගෙවුණු පැය 24 තුළ නව ඩෙංගු රෝගීන් 681ක් - ජාතික ඩෙංගු මර්දන ඒකකය

by Staff writer 21-06-2026 | 5:55 PM

COLOMBO (News1st) - ගෙවුණු පැය 24 තුළ අලුතින් ඩෙංගු රෝගීන් 681කු හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එහි වැඩබලන අධ්‍යක්ෂ, වෛද්‍ය කපිල කන්නන්ගර පැවසුවේ, තවදුරටත් වැඩිම ඩෙංගු ව්‍යාප්තියක් මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වාර්තා වන බවයි.

ඊට අමතරව, මාතර, ගාල්ල හා රත්නපුර දිස්ත්‍රික්කවල හා කළුතර දිස්ත්‍රික්කයේ පානදුර, ගම්පහ දිස්ත්‍රික්කයේ බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස ආශ්‍රීතව ද ඩෙංගු රෝගය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් ඇති බවයි.

මේ වන විට වාර්තා වී ඇති ඩෙංගු රෝග ව්‍යාප්ති අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස සංඛ්‍යාව, 112ක්.

එමෙන්ම කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවලට අමතරව මාතර දිස්ත්‍රික්කයේ ද රෝහල්වල ඩෙංගු රෝගීන්ගේ උපරිම ධාරිතාවට ළගා වී ඇතැයි, ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 46,037ක්.

එය 2024 සහ 2025 වසර වලට සාපේක්ෂව පැහැදිලි වැඩිවීමක් බව ද, ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කළේ ය.

මදුරු කීටයින් සහිත පාසල් 263ක් හඳුනා ගෙන ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එහි කීට විද්‍යාඥ සකුන්තලා ජානකී සඳහන් කළේ, පාසල් 633ක් පරික්ෂාවට ලක් කර ඇති බවයි.

බහුලව මදුරුවන් බෝවන ස්ථාන ලෙස පාසල්, රාජ්‍ය ආයතන සහ ආගමික ස්ථාන හඳුනාගෙන තිබේ.

මේ අතර ඩෙංගු මර්දන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් හෙට(22) පැවැත්වේ.

ඒ, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දිත සනත් කුමානායකගේ ප්‍රධානත්වයෙන්.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලු පාර්ශවයන්ට ඒ සඳහා කැඳවීම් කර තිබේ.