ICC සභාපති සහ ජනපති අතර හමුවක්

ICC සභාපති ජේ ෂා ජනපති සහ ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටු සාමාජිකයන් හමුවෙයි

by Staff writer 19-06-2026 | 9:43 PM

COLOMBO(News1st) - ජනාධිපති අනුර කුමාර දිසානායක හා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ(ICC) සභාපති ජේ.ෂා අතර හමුවක් අද පැවැත්විය.

ඒ ජනාධිපති කාර්යාලයේදීයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල සභාපති ජේ ෂා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටු සාමාජිකයන් අතර හමුවක් ද  අද සිදුවිය.

එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තනය පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රශංසා හිමිව තිබේ.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් දේවජිත් සයිකියා ද මෙම හමුවට එක්විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, මෙරට ක්‍රිකට් පරිපාලනයේ වත්මන් තත්ත්වය සහ පාලන සංක්‍රාන්ති ක්‍රියාවලිය අධීක්ෂණය කිරීම සඳහා දැනට පවරා ඇති කමිටුව විසින් ලබා ඇති ප්‍රගතිය කෙරෙහි අවධානය යොමු කරමින් සිදු කළ මෙම  සාකච්ඡා සුහදශීලී හා ඵලදායී වූ බවය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාලන ව්‍යුහයන් ශක්තිමත් කිරීමට සහ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමට මේ දක්වා ගෙන ඇති පියවර පිළිබඳ පුළුල් යාවත්කාලීන කිරීමක් මෙහිදී සිදු කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ දිගුකාලීන ස්ථාවරත්වයක් සහ යහපාලනයක් සහතික කිරීම අරමුණු කරගත් ව්‍යවස්ථාමය සහ පරිපාලන ප්‍රතිසංස්කරණවලට අදාළව සිදුවෙමින් පවතින කටයුතු පිළිබඳව ද නියෝජිත පිරිස දැනුවත් කළ බවට අදාළ නිවේදනයේ දැක්වේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල සභාපතිවරයා එම යාවත්කාලීන කිරීම පිළිගත් අතර ක්‍රීඩාවේ ශක්තිමත් පාලනය, විනිවිදභාවය සහ අඛණ්ඩ වර්ධනය ප්‍රවර්ධනය කිරීමේදී එහි සාමාජික මණ්ඩලවලට සහාය වීම සඳහා එම ආයතනයේ  කැපවීම නැවත තහවුරු කළ බවට ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනයෙන් පෙන්වා දෙන්නේය.