යෝෂිත රාජපක්ෂ ඇප මත නිදහස්...

යෝෂිත රාජපක්ෂ ඇප මත නිදහස්...

by Staff writer 17-06-2026 | 4:39 PM

COLOMBO (News 1st) - හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කළේ ය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගත් යෝෂිත රාජපක්ෂ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් ලක්ෂ පනහ බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හැරුණා.

ඔහුට එල්ලවී ඇති චෝදනාව වන්නේ, නියමිත සුදුසුකම් වෙනස් කරමින් නාවික හමුදාවේ විධායක නිළධාරියකු ලෙස බැදී රජයේ මුදල් අවභාවිත කරමින් බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික විද්‍යාලයේ පුහුණුව ලැබීමයි.


සැකකරුගේ විදෙස් ගමන් තහනම් කිරීමට නියෝග කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට ඉදිරිපත් කරන ලෙස  දැනුම් දුන්නා.

2006 වසරේ දී බඳවා ගැනීමේ නියමිත සුදුසුකම් සපුරා නොමැතිව, විධායක අංශයේ ශිෂ්‍ය භට නිලධාරියෙකු ලෙස බැඳීම සහ එතෙක් පැවති ක්‍රමවේදයට පරිබාහිරව බ්‍රිතාන්‍ය රාජකීය නාවික විද්‍යාලයේ පුහුණු පාඨමාලාවක් සඳහා රජයේ මුදල් වැය කර සහභාගිවීමට අවස්ථාව සලසා ගැනීම තුළින් දූෂණ වරදට ආධාර අනුබල දීම යන චෝදනාව මත යෝෂිත රාජපක්ෂ අද පෙරවරුවේ අල්ලස් කොමිසම විසින් අත්ඩංගුවට ගනු ලැබීය.

අනතුරුව අද පස්වරු 1.45ට පමණ ඔහු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණි.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසම වෙනුවෙන් එහි නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් රුවිනි වික්‍රමසිංහ කරුණු පැහැදිලි කිරීමක් කළේය.


යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහි චෝදනා 

පැමිණිල්ල ලැබුණු දිනය: 2016 ජුනි 25.

සුදුසුකම් සපුරාලූ සැබෑ නාවික හමුදා නිලධාරීන්ට අවස්ථාව අහිමි කරමින්, රජයේ මුදල් අවභාවිතා කර එංගලන්තයේ සහ යුක්රේනයේ නාවික හමුදා පුහුණු වැඩසටහන් සඳහා අනීතිකව සහභාගී වීම.

2006 වසරේදී සැකකරු සිවිල් පුරවැසියකු ලෙස සිටියදීම, එම ගෞරවනීය විදේශ පුහුණු පාඨමාලාවට සුදුසු අයකු ලෙස නාම ලේඛනයට නම ඇතුළත් කර ඉක්මනින් පිටත් කර යවා තිබේ.

එම පාඨමාලාව සඳහා තෝරා ගැනීම් සිදු විය යුත්තේ නාවික හමුදා පුහුණු කාලය තුළ දක්ෂතම ශිෂ්‍යභට නිලධාරියා වීම හෝ විශේෂ දක්ෂතා පෙන්වීම මත පමණි.


අධ්‍යාපනික සුදුසුකම් සම්බන්ධ චෝදනා:

සැකකරු 2006 වසරේදී කලා අංශයෙන් උසස් පෙළ විභාගයට පෙනී සිට ඇත.

නාවික හමුදාවේ විධායක ශ්‍රේණි සඳහා බඳවා ගැනීමේ සාමාන්‍ය සුදුසුකම වන්නේ විද්‍යා හෝ ගණිත අංශයෙන් උසස් පෙළ සමත්වීම;
සහ ගණිතය, සිංහල, විද්‍යාව, ඉංග්‍රීසි ඇතුලුව විෂයයන් 6ක් සම්මාන සාමාර්ථ ඇතුව සමත් වීමයි.

කෙසේ වෙතත්, සැකකරු බඳවා ගැනීම වෙනුවෙන් මෙම අනිවාර්ය සුදුසුකම් ලිහිල් කරමින්, උසස් පෙළ විභාගයේ දී   ඕනෑම අංශයකින් විෂයයන් දෙකක් සමත් වීම ප්‍රමාණවත් වන පරිදි 2006 ඔක්තෝබර් මස පුවත්පත් දැන්වීම් පළ කර තිබේ.
 


නාවික හමුදාවට එක්වීමට පෙර සිවිල් වැසියෙකු ලෙස සහභාගී වූ වෛද්‍ය පරීක්ෂණය...

සැකකරු නාවික හමුදාවට නිල වශයෙන් බඳවා ගැනීමට පෙර, එනම් 2006 දෙසැම්බර් 6 දින විදේශ පුහුණුව සඳහා වන වෛද්‍ය පරීක්ෂණයට (රුධිර පරීක්ෂාව) මුහුණ දී ඇත.

සැකකරු සහ අනෙකුත් නිලධාරීන් 26 දෙනා නාවික හමුදාවට බඳවා ගෙන ඇත්තේ 2006 දෙසැම්බර් 14 සහ 15 යන දිනවලදීය.

2006 දෙසැම්බර් 29 දින ත්‍රිකුණාමලයේ ආරම්භ වූ නාවික හමුදා පුහුණුව  සම්පූර්ණ නොකර කොළඹට පැමිණ ඇත.

පසුව, 2007 ජනවාරි 7 දින සැකකරු බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික විද්‍යාලයේ 'රෝයල් නේවි යං ඔෆිසර්' පුහුණුව සඳහා පිටත්ව ගොස් ඇත.

සාමාන්‍ය ක්‍රියා පටිපාටිය ලෙස තෝරා ගැනීම් සිදු විය යුත්තේ වසර දෙකක නාවික හමුදා පුහුණු කාලය තුළ දක්ෂතම ශිෂ්‍යභට නිලධාරියා වීම හෝ විශේෂ දක්ෂතා පෙන්වීම මත පමණි.

මූල්‍යමය පාඩුව සහ ක්‍රියා පටිපාටිය:

1995 සිට 2010 දක්වා මෙම පාඨමාලාව සඳහා නිලධාරීන් යවා ඇත්තේ ශිෂ්‍යත්ව මත වුවද, සැකකරු වෙනුවෙන් රජයේ මුදල් රුපියල් පනස් හතර ලක්ෂයකට අධික මුදලක් වැයකර තිබේ.

එසේම පුද්ගලික වියදම් ලෙස ලක්ෂ අටකට අධික මුදලක් ඇතුළුව රුපියල් හැට දෙලක්ෂයකට ආසන්න මුදලක් වැය කර ඇත.

මේ ක්‍රියාවෙන් ශ්‍රී ලංකා රජයට පාඩුවක් සිදු ව තිබේ.

හිටපු නාවික හමුදාපති ව සහ සැකකරු සති 2ක් වැනි කුඩා කාලයක් තුළ මෙලෙස කුමන්ත්‍රණය කර රජයට රුපියල් ලක්ෂ 62කට අධික පාඩුවක් කර ඇත.

අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ සැකකරු මේ ක්‍රියාවෙන් දූෂණය නැමැති වරදක් කර තිබේ...

- අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් රුවිනි වික්‍රමසිංහ -