හිටපු ඇමති එස්.එම්. චන්ද්‍රසේනට අධි චෝදනා

දූෂණ චෝදනා එල්ල වූ හිටපු ඇමති එස්.එම්. චන්ද්‍රසේනට අධි චෝදනා

by Staff writer 12-06-2026 | 5:27 PM

COLOMBO(News1st) - ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය හා විශේෂ ව්‍යාපෘති අමාත්‍යවරයා ලෙස කටයුතු කළ එස්.එම්. චන්ද්‍රසේනට කොළඹ මහාධිකරණ හමුවේ අද අධි චෝදනා ගොනු කෙරිණ.

ඒ 2014 වසරේ ජනවාරි පළමු වැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා කාලය තුළ අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිළිඳු ගොවීන්ට සහනදායි මිලට ලබා දීමට රජයේ වියදමින් ගෙන්වන ලද බීජ බඩ ඉරිඟු කිලෝ ග්රැම් 36,000ක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ක්‍රම සම්පාදන අධ්‍යක්ෂ ඇතුළු නිලධාරීන්ට බලපෑම් කරමින් සිය හිතවතුන් අතරේ බෙදා දීම තුළින් අල්ලස් පනතේ 70 වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් සිදු කර ඇති බව චෝදනා කරමින් ය.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් විත්තිකරුට එරෙහිව අධි චෝදනා දෙකක් යටතේ මෙම නඩුව ගොනු කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය වසරේ ජුලි 4 වැනිදා අල්ලස් කොමිසම හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට හමුවට ඉදිරිපත් කළේ ය.

පසුව ඔහු ඇප මත මුදා හැරුණේ පසුගිය වසරේ අගෝස්තු පළමු වැනිදායි.