සරණ ගුණවර්ධනට බරපතල වැඩ සහිත වසර 4ක සිර දඬුවමක්

සරණ ගුණවර්ධනට බරපතල වැඩ සහිත වසර 4ක සිර දඬුවමක්

by Staff writer 09-06-2026 | 12:01 PM

COLOMBO(News1st) - දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරු කළ හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන කොළඹ මහාධිකරණයෙන් අද(09) බරපතල වැඩ සහිත වසර හතරක සිරදඩුම් නියම කළේය.  

ඊට අමතරව ලක්ෂ 18ක දඬු මුදලක් ගෙවීමටද නියම කෙරුණා.

නියෝගය ප්‍රකාශයට පත් කළේ, කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් විසින්.
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී එම මණ්ඩලයට කුලී පදනම යටතේ වාහන ලබා ගැනීමේදී රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම ගොනු කර තිබූ නඩු හතරකට අදාළව සරණ ගුණවර්ධනට එරෙහිව අල්ලස් කොමිසම මෙම නඩු හතර ගොනු කර තිබුණි.

එම නඩු හතරට අදාළව විත්තිකරු වරදකරු කළ මහාධිකරණ විනිසුරුවරයා එක් එක් නඩුවකට වසර හතර බැඟින් සිර දඬුවම් නියම කරමින් එම සිර දඩුවම එකවර ගෙවී යාමට ලබා දෙන බව තීන්දුව ලබා දෙමින් ප්‍රකාශයට පත් කළේය.

ඒ අනුව පළමු නඩුවේ විත්තිකරුට එරෙහිව තිබූ චෝදනා 06ටම විත්තිකරු වරදකරු කෙරුණු අතර, එම එක් එක් චෝදනාවට වසර 04 බැගින් සිර දඬුවම් නියම කළ විනිසුරුවරයා එම සිරදඬුවම් සියල්ල එකවර ගෙවී යන ලෙස ලබා දීමට නියම කළේය. 

දෙවැනි නඩුවේ ද විත්තිකරුට එරෙහිව චෝදනා 06ක් තිබූ අතර ඉන් චෝදනා දෙකකින් විත්තිකරු නිදොස් කොට නිදහස් කළ විනිසුරුවරයා සෙසු චෝදනා 04ට විත්තිකරු වරදකරු කරමින්, එක් එක් චෝදනාවකට වසර 04 බැගින් සිර දඬුවම් නියම කළා. 

එම සිරදඬුවමද එකවර ගෙවී යන ලෙස ලබා දීමට නියම කළේය. 

තුන්වන නඩුවේ ඉදිරිපත් කර තිබූ චෝදනා 06ටම විත්තිකරු වරදකරු කළ අතර එක් එක් චෝදනාවකට වසර 04 බැගින් සිර දඬුවම් නියම කරමින් එම සිර දඬුවමද එකවර ගෙවී යන ලෙස ලබා දීමට විනිසුරුවරයා නියම කළේය. 

පසුව හතරවන නඩුවේ චූදිතට එරෙහිව තිබූ චෝදනා දෙකටම විත්තිකරු වරදකරු කළ විනිසුරුවරයා එම චෝදනා දෙකටද වෙන් වෙන් වසර හතරක සිර දඩුවම් නියම කළේය. 

ඒ අනුව විත්තිකරුට වසර 16ක සිරදඬුවම් නියම වූ අතර එම සිර දඬුවම වසර 4කින් එකවර ගෙවී යන ලෙස ලබා දුන්නේය.

විනිසුරුවරයා තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පවසා සිටියේ, රජයේ ආයතන තුළ සේවය කරන රජයේ සේවකයින් සිදුකරන දූෂණ ක්‍රියා ආර්ථික පරිහානයය ලක් වීමට හේතු වී ඇති බවයි. 

රජයේ ආයතන කෙරෙහි තිබෙන ජනතා විශ්වාසය මෙවැනි ක්‍රියා හේතුවෙන් බිඳී ගොස් තිබෙන බව කියා සිටි විනිසුරුවරයා එවන් පසුබිමක විත්තිකරු හට දඬුවම් නියෝග ලිහිල් කිරීමක් කළ නොහැකි බව අවධාරණය කරමින් විත්තිකරුට දඬුවම් නියෝග ප්‍රකාශයට පත් කළේය.