ප්‍රදේශ රැසකට තවදුටත් තද වැසි....

ප්‍රදේශ රැසකට තවදුටත් තද වැසි....

by Staff writer 14-05-2026 | 8:37 PM

COLOMBO (News 1st) - අත්තනගලු ඔයේ සහ මාඔයේ ජල මට්ටම ඉහළ යමින් ඇති බැවින් දෙපස ජනතාවට ඒ පිළිබඳ විමසිලිමත් වන්නැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා අංශයේ අධ්‍යක්ෂ එල් එස් සූරියබණ්ඩාර සදහන් කලේ අද රාත්‍රියේ එම ගංගා ද්‍රෝනිවලට අධික වර්ෂාවක් ඇතිවුවහොත් සුළු ගංවතුර තත්ත්යක් ඇතිවීමේ අවදානමක් පවතින බවයි.

අධික වර්ෂාව හේතුවෙන් දිවයිනේ ප්‍රධාන ජලාශ 19 ක් සහ මධ්‍යම ප්‍රමාණයේ ජලාශ 18 ක් මේ වෙද්දි වාන් දමමිනුයි පවතින්නේ.

මේ වර්ෂාධික කාලගුණ තත්ත්වයට හේතුව දිවයිනට ඊසාන දෙසින් පවතින අඩු පීඩන කලාපය.

මේ පද්ධතිය ඉදිරි පැය 48 තුළ දිවයිනෙන් ඉවතට ගමන් කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි.

ඒ වගේම, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද පස්වරුවේ තද වැසි පිළිබද අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කළේ ය.

ඒ අනුව, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලටත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් මිලිමිටර් 150 ට වැඩි තද වැසි තවදුරටත් ඇති වෙන්න පුළුවන්.

උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 කට වැඩි තද වැසි අපේක්ෂා කරයි.

අඩු පීඩන කලාපයේ බලපෑමෙන් දිවයිනේ ‍බොහෝ ප්‍රදේශවල අහස තවදුරටත් වලාකුළින් බරව පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ ය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.

මේ අතර, අධික වැසි සමග දිස්ත්‍රික්ක 11 ක් සඳහා නිකුත් කළ නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදන තවදුරටත් බලාත්මකයි.

විශේෂයෙන්ම අදියර 02 යටතේ නායයාම් අනතුරු ඇඟවම් නිකුත් කෙරුණු ගාල්ල, කළුතර, කුරුණෑගල සහ රත්නපුර දිස්ත්‍රික්කවල අවදානම් ප්‍රදේශවල ජනතාව විමසිලිමත් වීම ඉතා වැදගත්.