.webp)

COLOMBO (News 1st) -
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද වරෙන්තු නිකුත් කළේ ය.
ඒ ඇප කොන්දේසි සහ අධිකරණයේ විශ්වාසය කඩ කර ඇති බව පවසමින් අල්ලස් කොමිසම විසින් කපිල චන්ද්‍රසේන අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට වරෙන්තු නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකළ මෝසමක් සලකා බලමින් ය.
වරෙන්තුව නිකුත් කරමින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විමර්ශන නිළධාරීන්ට නියෝග කළේ එය වහා ක්‍රියාත්මක කරන ලෙසයි.
රක්ෂිත බන්ධනාගාරගතව සිටි කපිල චන්ද්‍රසේන පෙරේදා ඇප මත මුදා හැරියේ ය.
ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණේ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී ඇමරිකානු ඩොලර් මිලියන 2ක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියට අදාළවයි.
ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පෙරේදා සැකකරුට ඇප නියම කරමින් මුදලින් ලක්ෂ 5ක ඇපයක් හා ලක්ෂ 100 බැඟින් වූ ශරීර ඇප තුනක් නියම කළේ ය.
අද දින මෝෂන් පත්‍රයක් ගොනු කරමින් අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ, සැකකරු අධිකරණය නියම කළ ලක්ෂ සියයේ ශරීර ඇප දෙකක් සඳහා ඇප තැබීමට රුපියල් 15000 බැගින් ගෙවා පුද්ගලයින් දෙදෙනෙකු ඉදිරිපත් කර ඇති බවයි.
එම ක්‍රියාවෙන් සැකකරු ඔහුට නියම කළ ඇප කොන්දේසි සහ අධිකරණයේ විශ්වාසය කඩ කර ඇති බවත් අල්ලස් කොමිසම අධිකරණයට පැවසුවේ ය.
සැකකරු ඇප කොන්දේසි සහ අධිකරණයේ විශ්වාසය කඩ කර ඇති බැවින් සැකකරුගේ ඇප අවංගු කර නඩුව අවසන් වනතුරු සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස විමර්ශන නිලධාරීයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.
ඒ ඇප ලබා පිටව ගොස් තිබෙන සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට වරෙන්තුවක් නිකුත් කරන ලෙස ඉල්ලමින්.
කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් වරෙන්තු නිකුත් කළේ ය.
