බ්‍රිතාන්‍ය රජු සහ රැජින සංචාරයක් සඳහා ඇමරිකාවට

බ්‍රිතාන්‍ය රජු සහ රැජින සිව්දින නිල සංචාරයක් සඳහා අමෙරිකාවට, ට්‍රම්ප් යුවළගෙන් උණුසුම් පිළිගැනීමක්

by Staff writer 28-04-2026 | 7:54 AM

COLOMBO(News1st) - බ්‍රිතාන්‍යයේ තුන්වැනි චාල්ස් රජු සහ කැමිලා රැජින සිව්දින නිල සංචාරයක් සඳහා ඇමරිකාවට පැමිණ තිබේ.

මෙරට වේලාවෙන් ඊයේ(27) මධ්‍යම රාත්‍රියේ රජු සහ රැජිණ රැගත් රාජකීය ගුවන් යානය ඇමරිකාවේ "ඇන්ඩෘස්" ගුවන් හමුදා කඳවුරට ළඟා වුණා.

රතු පලස මතදී ඔවුන් පිළිගනු ලැබුවේ, අමෙරිකාවේ බ්‍රිතාන්‍ය තානාපති ක්‍රිස්ටියන් ටර්නර් සහ, ධවල මන්දිරයේ ප්‍රොටෝකෝල් ප්‍රධානී මොනිකා ක්‍රෝලි ඇතුළු පිරිසක් විසින්.

ඉන් අනතුරුව රාජකීය යුවල රැගත් රථපෙළ ධවල මන්දිරයට පැමිණියා.

එහිදී තුන්වැනි චාල්ස් රජු සහ කැමිලා රැජින පිළිගනු ලැබුවේ, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජනපති ආර්යා මෙලනියා ට්‍රම්ප් විසින්..

ඔවුන් ධවල මන්දිරයේදී පෞද්ගලික තේ පැන් සංග්‍රහයකට සහභාගී වූ අතර, පසුව බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයේ පැවති උද්‍යාන තේ සාදයක් සඳහා එක්විය.

බ්‍රිතාන්‍ය රාජකීය යුවල නිල වශයෙන් පිළිගැනීමේ උත්සවය හමුදා ආචාර සහිතව හෙට(29) ධවල මන්දිරයේදී පැවැත්වීමට නියමිතයි.