සාම සාකච්ඡා සඳහා ඇමරිකානු නියෝජිතයින් පාකිස්ථානයට

සාම සාකච්ඡා දෙවන වටය සඳහා ඇමරිකානු නියෝජිතයින් පාකිස්ථානයට.

by Staff writer 25-04-2026 | 8:10 AM

COLOMBO(News1st) - සාම සාකච්ඡා දෙවන වටය සඳහා ඇමරිකානු නියෝජිතයින් පාකිස්ථානය බලා පිටත්ව ගොස් තිබේ.

BBC පුවත් සේවය පෙන්වා දෙන්නේ, ඒ අනුව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් සහ ජැරඩ් කුෂ්නර් හෙට(26) දිනයේදී ඉස්ලාමාබාද් නුවරට ළඟා වීමට නියමිත බවයි.

ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි මේ වන විටත් ඉස්ලාමාබාද් නුවරට පැමිණ සිටින අතර, රොයිටර් පුවත් සේවය සමඟ දුරකථන සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කළේ, ඉරානය විසින් නව යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බවට තොරතුරු ලැබී ඇති බවයි.

ඉරානය ඉදරිපත් කරනු ලබන ඕනෑම ගිවිසුමකදී සිය යුරේනියම් පිරිපහදු කිරීමේ වැඩසටහන අත්හැරිය බවත් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නාවික ගමනාගමනයට සම්පූර්ණයෙන් ඉඩ දිය යුතු බවත් ඔහු පෙන්වා දෙයි.

ධවල මන්දිරය විසින් ඉරානය වෙත කරුණු 15 කින් යුත් සාම සැලැස්මක් ඉදිරිපත් කර ඇති අතර, ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සම්පූර්ණයෙන්ම නවතා දැමීම සහ හෝමුස් සමුද්‍ර සන්ධියේ නාවික අවහිරතා ඉවත් කිරීම එහි ප්‍රධාන කොන්දේසි වී තිබේ.

සති කිහිපයකට පෙර පාකිස්ථානයේ මැදිහත් වීමෙන් ඇති කරගත් තාවකාලික සටන් විරාමය තවදුරටත් ඉදිරියට ගෙනයාමට දරන තීරණාත්මක උත්සාහයක් ලෙස  මෙම සාකච්ඡා වටය හැඳින්විය හැකි බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

මේ අතර ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි, පාකිස්ථාන විදේශ අමාත්‍යවරයා සහ එරට හමුදා ප්‍රධානී ජෙනරාල් අසිම් මුනීර් ද්වී පාර්ශ්වීය සාකච්ඡා සඳහා හමුවීමට නියමිතයි

විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චී රුසියාව සහ ඕමානය වෙතද සංචාරය කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.