.webp)
-614679.jpg)
COLOMBO (News 1st) - අහිංසාවාදී පණිවිඩය ලොවට ගෙන යන ජාත්යන්තර සාම පාද යාත්රාවට සමගාමීව සිදුකෙරෙන අසදිස පූජාව හෙට (21) පස්වරු 3ට රුවන්වැලි මහා සෑ පුදබිමේදී ආරම්භ වේ.
ඒ, වියට්නාම ජාතික පූජ්ය පඤ්ඤාකර හිමි ඇතුලු මහා සංඝරත්නයේ වැඩමවීමෙනි.
එම පුණ්ය කර්මයට පිං කැමති ඔබටත් සම්බන්ධ විය හැකියි.
මේ අතර රුවන්වැලි මහා සෑ පුදබිම ආශ්රිතව හෙට විශේෂ රථාවාහන හා ආරක්ෂක වැඩපිලිවෙලක් ක්රියාත්මක බව පොලීසිය පවසයි.
පොලීසිය පැවසුවේ ඒ සඳහා පොලිස් නිලධාරින් 200 කට අධික පිරිසක් යොදවා ඇති බවයි.
ජාත්යන්තර සාම පාද යාත්රාව, අනිද්දා (22) සිට 28 වැනි දා දක්වා මෙරට දී පැවැත්වීමට සියලු කටයුතු සූදානම්..
සාම පාගමනේ පූර්ණ සම්බන්ධීකරණය සිදුකරන්නේ සිරස මාධ්ය ජාලයයි.
සාම පාගමන සඳහා නායකත්වය ලබා දෙන පූජ්ය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ සමග 'ආලෝකා' සුනඛයා ඇතුළු කණ්ඩායම මෙරටට පැමිණීම සඳහා ඇමරිකාවේ ටෙක්සාස් ප්රාන්තයේ ඩලස් පොර්ට් වර්ත් ජාත්යන්තර ගුවන් තොටුපළට පැමිණි අතර එහිදී ගුවන් තොටුපළේ රැඳී සිටි ආලෝකා කාගෙන් අවධානයට ලක් විය.
පූජ්ය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ඇතුළු පිරිස හෙට අලුයම මෙරටට පැමිණීමට නියමිතයි.
සාම පාගමනට සහභාගීවන භික්ෂූන් වහන්සේ දොළොස් නම අතුරින් තායිලන්තයේ රතන සා හිමි ඇතුළු කිහිප නමක් පසුගිය සිකුරාදා අලුයම මෙරටට වැඩම කළහ.
සාම පාගමන ආරම්භ වන්නේ අප්රේල් 22 වැනිදා උදෑසනයි.
එදින උදෑසන සිදුකෙරන සංඝගත දක්ෂිණාවෙන් පසු දඹුල්ල පූජා නගරයෙන් ආරම්භ වන සාම පාගමන පසුව එදින සවස මාතලේ අළුවිහාරට ළඟා වේ.
අප්රේල් 23 දින මාතලේ අළුවිහාරයෙන් යළි ආරම්භ කෙරෙන සාම පාද යාත්රාව එදින අවසන් කරන්නේ මහනුවර ශ්රී දළදා මාලිගාවෙන්.
යළිත් අප්රේල් 24 වන දා ශ්රී දළදා මාලිගාවේ මහ මළුවෙන් ආරම්භ කෙරෙන මෙම පාගමන කෑගල්ල බෙලිගම්මන රජමහා විහාරයට ළඟාවීමට නියමිතයි.
අප්රේල් 25 බෙලිගම්මන රජමහා විහාරයෙන් යළිත් පාගමන ආරම්භ වී තෝලංගමුව මධ්ය මහා විද්යාලය දක්වා පැමිණීමට නියමිතයි.
අප්රේල් 26 වන දා තෝලංගමුව මධ්ය මහා විද්යාලයේ සිට යක්කල චන්ද්රජෝතී විහාරය දක්වා පාගමන පැමිණෙනු ඇත.
අප්රේල් 27 වැනිදා යක්කල චන්ද්රජෝතී විහාරයෙන් ආරම්භ වන පාගමන, එදින අවසන් වන්නේ කැළණිය රජමහා විහාරයෙනි.
අප්රේල් 28 කැලණිය රජමහා විහාරයෙන් පිටත් වී සවස 4 වන විට නිදහස් චතුරස්රයට පැමිණීමෙන් අනතුරුව ශ්රී මහා බෝධීන්වහන්සේගේ අංකුරය ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් රාජ්යතාන්ත්රික වශයෙන් ඇමරිකාවේ සිට වැඩම කළ මහා සංඝරත්නය වෙත භාර දීමට නියමිතයි.
අනතුරුව පෙරහරකින් සිරස මාධ්යජාල පරිශ්රය පසුකොට ගංගාරාමය විහාරස්ථානයට පැමිණීමෙන් අනතුරුව සාම පාද යාත්රාවේ නිමාව සිදු වේ.
