.webp)

COLOMBO(News1st) -
මැදපෙරදිග කලාපයේ හටගෙන ඇති යුදමය වාතාවරණය හේතුවෙන් ගෝලීය නැව් ගමනාගමනයට එල්ල වී ඇති බාධා හමුවේ, ශ්‍රී ලංකාව ලොව සුපිරි මෝටර් රථ ගබඩා කර තබන මධ්‍යස්ථානයක් බවට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.ඩුබායි රාජ්‍යයේ ගැනුම්කරුවන් වෙත රැගෙන යාමට නියමිතව තිබූ ලැම්බෝගිනි (Lamborghini), රෝල්ස් රොයිස් (Rolls-Royces) සහ ෆෙරාරි (Ferrari) වැනි සුපිරි පන්තියේ මෝටර් රථ 50ක් පමණ මේ වන විට ශ්‍රී ලංකාවේ සහ චීනයේ වරායන්හි ගොඩබෑමට නැව් සමාගම් පියවර ගෙන තිබේ.
ඩුබායි වෙත යාමට නොහැකි වූ වාහන රැගත් නැව් ශ්‍රී ලංකාව දෙසට හැරවීම නිසා පසුගිය දිනවල හම්බන්තොට වරායේ දැඩි තදබදයක් ඇති විය.
මීට අමතරව සාමාන්‍ය පාවිච්චි කළ ජපන් වාහන 500කට අධික ප්‍රමාණයක් දින 10කට වඩා වැඩි කාලයක් මුහුදේ රැඳී සිටීමෙන් පසු ගොඩබෑමටද සිදු විය.
හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) ආසන්නයේ පවතින අනාරක්ෂිත බව නිසා ජපානයේ සිට වාහන අපනයනය කරන ආයතන දැඩි අර්බුදයකට පත්ව ඇත.
ඇතැම් නැව් සමාගම් එක් වාහනයක් සඳහා ඩොලර් 5,000ක අමතර රක්ෂණ තැන්පතුවක් (War Risk Deposit) ඉල්ලා සිටින බවටද වාර්තා වේ.
පවතින යුද තත්ත්වය සමනය වන තෙක් හෝ විකල්ප මාර්ගයක් විවෘත වන තෙක් ශ්‍රී ලංකාව වැනි දකුණු ආසියානු වරායන් "රැඳවුම් මධ්‍යස්ථාන" ලෙස භාවිත කිරීමට ජාත්‍යන්තර වෙළඳුන් තීරණය කර තිබේ.
මෙම තත්ත්වය ශ්‍රී ලංකාවේ වරාය ක්ෂේත්‍රයට අලුත් අභියෝගයක් මෙන්ම අවස්ථාවක් ද උදා කර ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති.
මැදපෙරදිග අර්බුදය දිග්ගැස්සුණහොත් ඉදිරි කාලයේදී තවත් භාණ්ඩ රැසක් මෙලෙස ශ්‍රී ලංකාව හරහා ප්‍රතිඅපනයනය කිරීමට හෝ ගබඩා කිරීමට ඉඩ පවතී.
