Disrupt Asia 2025 සමුළුව ජනපති ප්‍රධානත්වයෙන්

“Disrupt Asia 2025” ප්‍රධාන සමුළුව ජනපති ප්‍රධානත්වයෙන්

by Staff writer 18-09-2025 | 6:03 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නව ව්‍යවසායක සමුළුවක් සහ නවෝත්පාදන උළෙල වන “Disrupt Asia 2025හි ප්‍රධාන සමුළුව අද (18) කොළඹ  සිනමන් ලයිෆ් හෝටලයේදී පැවැත්වුණු අතර, එම සමාරම්භක අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගිවිය.

රටවල් 20ක පමණ ව්‍යාපාරිකයින් සහ ආයෝජකයින් එක්ව සිටින Disrupt Asia 2025 ඊයේ (17) දින ආරම්භ වූ අතර, එය සැප්තැම්බර් 20 වන දා දක්වා පැවැත්වේ.

ජාත්‍යන්තර අවධානය දිනා ගනිමින්, ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ නැගී එන නවෝත්පාදන කේන්ද්‍රස්ථානය ලෙස ස්ථානගත කිරීම මෙහි අරමුණ වේ. නව ව්‍යවසාය සහ නවෝත්පාදන දිරි ගැන්වීම මගින් ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැඟීමේ රජයේ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා මෙමඟින් මනා පිටුබලයක් හිමිවෙතැයි අපේක්ෂා කෙරේ.

අද පැවති ප්‍රධාන සමුළුවේ සමාරම්භක අවස්ථාවට සහභාගී වූ ජනාධිපතිවරයා නව ව්‍යවසායක ප්‍රදර්ශනය නැරඹීමටද එක් විය.

මෙහිදී අදහස් දැක් වූ  ඩිජිටල් ආර්ථිකය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතා සඳහන් කළේ, රටේ සංවර්ධන මෙවලමක් ලෙස නවෝත්පාදනය යොදා ගැනීම රජයේ අරමුණ බවයි.
“Disrupt Asia 2025” මෙරට තරුණ ප්‍රජාව සවිබල ගැන්වීමට, ගෝලීය ආයෝජන ආකර්ෂණය කර ගැනීමට සහ ඩිජිටල් ආර්ථික පරිවර්තනය වේගවත් කිරීමට මනා පිටුබලයක් වන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. මෙම වැඩසටහන මගින් මෙරට දක්ෂ ව්‍යවසායකයින් සහ ගෝලීය වෙළඳපොළ අවස්ථා අතර පාලමක් නිර්මාණය කරමින්, දකුණු ආසියාවෙහි නවෝත්පාදන සඳහා දොරටුවක් ලෙස ශ්‍රී ලංකාව ස්ථාන ගත කෙරෙන බවද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

මෙහි ප්‍රධාන දේශනය පැවැත් වූ ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා ශ්‍රී ලංකාවේ ඩිජිටල්කරණයේ අරමුණු සහ ඉදිරි වසර හතර තුළ ඩොලර් බිලියන 15ක ඩිජිටල් ආර්ථිකය සාක්ෂාත් කර ගැනීම සඳහා වන සැලසුම් පිළිබඳව පැහැදිලි කළේය. ඩිජිටල් අපනයන තුන් ගුණයකින් වැඩි කිරීම, ඩිජිටල් කුසලතා සංචිතය දෙගුණ කිරීම සහ ගෝලීය ඩිජිටල් මිනුම්වල ශ්‍රී ලංකාව ඉදිරියට ගෙන ඒම ආදී ඉලක්ක ඔහු මෙහිදී ගෙනහැර දැක්වීය.

ශ්‍රී ලංකාවේ නව ව්‍යවසාය සහ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍ර ඌණ ආයෝජිත ක්ෂේත්‍ර ලෙස පවතින බව අවධාරණය කළ ඒ මහතා, එම වටිනා ආයෝජන අවස්ථාව අත්හැර නොගන්නා ලෙස දේශීය සහ ගෝලීය හවුල්කරුවන්ගෙන් ඉල්ලා සිටියේය. ඩිජිටල් ආර්ථිකය සඳහා ඩොලර් බිලියන 15ක අවස්ථාවක් පවතින බවත්, වඩා වැදගත් වන්නේ එම අවස්ථාව ග්‍රහණය කර ගන්නේ කවුරුන්ද යන්න බවත්, මේ අවස්ථාවේ ආයෝජනය කරමින් මෙම පරිවර්තනයේ හවුල්කරුවන් බවට පත් වන්නන් හෙට දවසේ ජයග්‍රාහකයින් වනු ඇති බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.