නියෙලිනී සමුළුව අද මහනුවරදී..

රටවල් 80 ක නියෝජිතයන් 700 ක සහභාගීත්වයෙන් නියෙලිනී සමුළුව අද මහනුවරදී..

by Staff writer 08-09-2025 | 11:32 AM

COLOMBO (News 1st) - ආහාර ස්වෛරීභාවය සඳහා වන නියෙලෙනි 03 වන ගෝලීය සමුළුව අද මහනුවරදී ආරම්භ වෙයි.

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපාකාර සංවර්ධන අමාත්‍යංශය පැවසුවේ සමුළුව ජාතික සමුපකාර සංවර්ධන ආයතනයේ පොල්ගොල්ල පරිශ්‍රයේදී අද පෙරවරුවේ සමුළුව ආරම්භ වන බවයි.

දින 10ක් පුරා මෙරටදී පැවැත්වෙන මෙම ගෝලීය සමුළුව සඳහා රටවල් 80 ක නියෝජිතයන් 700 ක් පමණ සහභාගි  වනු ඇති.

සමාරම්භක උත්සවය සඳහා ශ්‍රීලංකාව තුළ පසුගිය දශක දෙකක කාලයක සිට ආහාර නිෂ්පාදනය, අගය එකතු කිරීම, සමුපකාර හා විකල්ප වෙළෙඳපොළ මෙන්ම  අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින මෙරට නියෝජිතයින් 300 කට වැඩි පිරිසක් සහභාගී වීමට නියමිතයි.

ආහාර ස්වෛරීභාවය, පරිසර විද්‍යාත්මක ගොවිතැන, දේශගුණික යුක්තිය, සමුපකාර මූලික කොටගත් සහයෝගීතා ආර්ථිකයක් වර්ධනය කිරීම, ආහාර නිෂ්පාදනයින්ගේ අයිතිවාසිකම් පිළිබඳ ගැටලු සහ ප්‍රවණතා පිළිබඳ පුළුල් ලෙස සාකච්ඡා කිරීම සමුළුවේ අරමුණ වී ඇතැයි වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපාකාර සංවර්ධන අමාත්‍යංශය සඳහන් කළේ ය.

නියෙලෙනී සමුළුවේ පළමු හා දෙවන සමුළු දෙක 2007 හ 2015 වර්ෂවල මාලි රාජ්‍ය තුළ පැවැත්විය.