චන්ද්‍රානිට එරෙහිව නඩුව යළි කැඳවීමට දින නියම වෙයි

චන්ද්‍රානි බණ්ඩාරට එරෙහිව අල්ලස් කොමිසම ගොනු කළ නඩුව සැප්තැම්බර් 23 වැනිදා යළි කැඳවීමට දින නියම වෙයි..

by Staff writer 04-09-2025 | 7:38 PM

COLOMBO (News 1st) - හිටපු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මියට එරෙහිව අල්ලස් කොමිසම ගොනුකර ඇති නඩුව සැප්තැම්බර් 23 වැනිදා යළි කැඳවීමට කොළඹ මහාධිකරණය අද නියම කළේ ය.

කොළඹ මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර මහතා ඉදිරියේ නඩුව කැඳ වූ අවස්ථාවේ අල්ලස් කොමිසමේ නීතිඥවරිය අධි චෝදනා පත්‍රය සංශෝධනය කිරීමට අධිකරණයෙන් අවසර ඉල්ලා සිටි අතර ඊට අධිකරණය අවසර ලබා දුන්නේ ය.

විනිසුරුවරිය විත්ති පාර්ශ්වයට නියෝග කළේ, සංශෝධිත අධි චෝදනා පත්‍රයේ පිටපත් ලැබුණු පසු මූලික විරෝධතා ගොනු කරන ලෙසයි.

යහපාලන රජය සමයේ කාන්තා හා ළමා කටයුතු සහ වියලි කලාප සංවර්ධන අමාත්‍යවරිය ලෙස කටයුතු කරමින් සිය හිතවතුන් විවිධ තනතුරු වලට පත් කිරීමෙන් දූෂණය නැමැති වරද කළේයැයි චෝදනා කරමින් පසුගිය ජුනි 6 වැනිදා ඇයට විරුද්ධව කොළඹ මහාධිකරණය ඉදිරියේ අධි චෝදනා පත්‍ර භාරදීම සිදුකෙරිණ.

එදින විත්තිකාරිය රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරිමට විනිසුරුවරයා නියම කළේ ය.