.webp)
තීරණාත්මක ජාතික තොරතුරු යටිතල පහසුකම් පවත්වාගෙන යන රාජ්‍ය ආයතන ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානයට සම්බන්ධ කිරීම
- රාජ්‍ය ආයතන සහ මූල්‍ය ආයතන ඉලක්ක කරගෙන එල්ල වන සයිබර් ප්‍රහාර හේතුවෙන් එම ආයතන මඟින් සපයනු ලබන අත්‍යවශ්‍ය සේවාවන්ට බාධාවන් ඇති වීමේ අවදානමක් පවතී. එමෙන්ම, පෞද්ගලික හා සංවේදී දත්ත වෙනත් පාර්ශ්ව අතට පත් වීම, පුරවැසියන්ගේ පුද්ගලික ආරක්ෂාව, ජාතික ආරක්ෂාව, ආර්ථික ස්ථාවරත්වය, මහජන සෞඛ්‍යය සහ සමාජයේ යහපැවැත්ම සඳහා මෙන්ම, රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් මහජනයා තුළ පවතින විශ්වාසය කෙරෙහි අහිතකර ලෙස බලපානු ලබයි. එබැවින්, මෙවැනි තර්ජන සහ අවදානම් අවම කිරීම සඳහා ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානය පිහිටුවා ඇත. ජාතික සයිබර් තාක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානය විසින් සයිබර් තර්ජන දවසේ පැය 24 පුරා අඛණ්ඩව නිරීක්ෂණය කිරීම, හඳුනාගැනීම සහ ප්‍රතිචාර දැක්වීම මෙන්ම ඕනෑම ආකාරයක අනිෂ්ඨ මෘදුකාංග මඟින් සිදුවන හානි හා අනවසර පිවිසුම් හඳුනාගෙන අනතුරු ඇඟවීම යන පහසුකම් ලබා දීම සිදු කරනු ලබයි. ඒ අනුව, ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානය සමඟ සම්බන්ධ වී එහි වෘත්තීය සේවාවන් අඛණ්ඩව ලබා ගැනීම සඳහා අදාළ අමාත්‍යාංශ ලේකම්වරුන්ට හා රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට නියම කිරීම පිණිස ඩිජිටල් ආර්ථික අමාත්‍ය ලෙස ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ගොවීන් සඳහා පොහොර සහනාධාරය ලබා දීම ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ ක්‍රියාත්මක කිරීම
- රජය මඟින් ගොවීන් වෙත පොහොර සහනාධාර ලබා දීමේදී අදාළ ගොවීන් වෙත එකී සහනාධාරය නිසි වේලාවට ලැබෙන බව සහ එම මූල්‍යාධාරය ඔවුන් විසින් සිය ගොවිතැන් කටයුතු සඳහා වන පොහොර අවශ්‍යතාව සඳහා සම්පූර්ණ වශයෙන් යොදා ගන්නා බව සහතික කර ගැනීමේ අවශ්‍යතාව මතුව තිබේ. එබැවින්, එම පසු විපරම් කාර්යයට ද පහසුකම් සලසමින් ගොවි ජනතාවට පොහොර ලබා දීම වඩා විධිමත්ව හා කාර්යක්ෂමව සිදු කිරීම සඳහා QR කේතය හෝ සුදුසු ඩිජිටල් ක්‍රමවේදයක් යොදා ගැනීමේ යෝග්‍යතාව හඳුනාගනු ලැබ තිබේ. ඒ අනුව, පොහොර සහනාධාර වැඩසටහන සඳහා සුදුසුකම් ලබන සියලු ගොවීන් කෘෂිකර්ම විෂය භාර අමාත්‍යාංශය යටතේ සිටින ප්‍රාදේශීය නිලධාරින් මඟින් හඳුනාගැනීමටත්, එසේ සුදුසුකම් ලබන ගොවි ජනතාව වෙත පොහොර සහනාධාරය ලබා දීම සඳහා QR ක්‍රමවේදය හෝ සුදුසු ඩිජිටල් යාන්ත්‍රණයක් සැකසීමටත් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය හා ඩිජිටල් ආර්ථික අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා සහ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
කෘෂිකාර්මික හා කර්මාන්ත අංශයේ තරුණ ව්‍යවසායකයින් දිරිමත් කිරීම සඳහා සහනදායී ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දීම
- ආයෝජන දිරිමත් කිරීම සඳහා සහනදායී මූල්‍ය පහසුකම් නොමැති වීම කෘෂිකාර්මික අංශයේ ව්‍යවසායකයින් ඇති කිරීමට බාධාවක් ලෙස හඳුනා ගනු ලැබ ඇත. එම තත්ත්වය කෘෂිකර්මාන්තය සඳහා තරුණ ව්‍යවසායකයින්ගේ ආකර්ෂණය අඩු වීමට මෙන් ම, වගා නොකළ ඉඩම් ප්‍රමාණය ඉහළ යාමට හා ආහාර නිෂ්පාදනය පහළ යාමට හේතු වන බව ද නිරීක්ෂණය කර තිබේ. එබැවින්, 2025 අයවැය යෝජනාවක් පරිදි කෘෂිකර්ම හා කර්මාන්ත අංශයේ නියුතු ව්‍යවසායකයින් සංවර්ධනය කිරීම සඳහා සහනදායී ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම පිණිස රුපියල් මිලියන 500ක ප්‍රතිපාදන වෙන් කර ඇත. මෙම ව්‍යාපෘතිය වසර 05ක කාලයක් සඳහා ක්‍රියාත්මක වන අතර, ප්‍රතිලාභියෙකුට උපරිම ණය පහසුකම වශයෙන් රුපියල් මිලියන 05ක් ලබා දීමට යෝජනා වී තිබේ. අදාළ සහනදායී ණය යෝජනා ක්‍රමය යටතේ ප්‍රතිලාභීන්ගෙන් අය කළ යුතු පොළිය, හිඟ ණය මුදලින් වාර්ෂිකව 4%ක් වේ. ඒ අනුව, වසර 05ක් ඇතුළත කෘෂිකාර්මික ව්‍යවසායකයින් 50,000ක් නිර්මාණය කිරීමේ රජයේ අරමුණ ද සාක්ෂාත් කර ගත හැකි වන පරිදි අදාළ සහනදායී ණය යෝජනා ක්‍රමය ලංකා බැංකුව, මහජන බැංකුව හා ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සමඟ එක් ව ක්‍රියාත්මක කිරීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
පැල්වත්ත හා සෙවනගල සීනි කර්මාන්ත ශාලා පිහිටි පරිශ්‍රවල තෝරාගත් ස්ථාන සංචාරක ආකර්ෂණය ඇති කිරීමේ අරමුණින් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය
- රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව ජාතික නියෝජිතායතනය විසින් සිදු කළ ශක්‍යතා අධ්‍යයනයක නිර්දේශ මත පදනම්ව හරිත සංචරණය (Eco Tourism), කෘෂි සංචරණය (Agro Tourism), සුවතා සංචරණය (Wellness Tourism) සහ සංරක්ෂණය පදනම් කර ගත් සංචරණය (Conservation based Tourism) වැඩිදියුණු කිරීම පිළිබඳ විශේෂ අවධානය යොමු කරමින්, පැල්වත්ත සීනි කර්මාන්ත ශාලා පරිශ්‍රය තුළ තෝරාගත් ස්ථාන 04ක් සංචාරක ආකර්ෂණය සහිත ස්ථාන ලෙස සංවර්ධනය කිරීම පිණිස හඳුනා ගනු ලැබ ඇත. එමෙන්ම, සෙවනගල සීනි කර්මාන්තශාලා පරිශ්‍රයේ පිහිටි ස්ථාන කිහිපයක් ද සංචාරක ආකර්ෂණය ඇති කිරීමේ අරමුණින් සංවර්ධනය කළ හැකි බවට හඳුනාගනු ලැබ තිබේ. ඒ අනුව, සීමාසහිත ලංකා සීනි (පුද්ගලික) සමාගමට අයත් පැල්වත්ත සීනි කර්මාන්ත ශාලාව සහ සෙවනගල සීනි කර්මාන්ත ශාලාව පිහිටි පරිශ්‍රයන් තුළ තෝරාගත් ස්ථාන සංචාරක ආකර්ෂණය සහිත ස්ථාන බවට පත් කිරීම සඳහා රාජ්‍ය‑පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රමය යටතේ ව්‍යාපෘති 02ක් ක්‍රියාත්මක කිරීම පිණිස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමා සහ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ආයතනගතව සිට සමාජගත වන තරුණ තරුණියන්ට නිවාස පහසුකම් සපයාගැනීම සඳහා මූල්‍යාධාර ලබා දීමේ වැඩසටහන
- ළමා සංවර්ධන මධ්‍යස්ථානයක රැකවරණය යටතේ සිට සමාජගත වී විවාහ අපේක්ෂාවෙන් පසුවන තරුණ තරුණියන්, ඒ සඳහා ක්‍රමානුකූලව හා විධිමත්ව සූදානම් කිරීමේ අරමුණින් ස්ථාවර හා ආරක්ෂිත නිවසක් තනා ගැනීමට හැකි වන පරිදි රුපියල් මිලියනයක මූල්‍යාධාරයක් ලබා දීම සඳහා 2025 අයවැය යෝජනාවක් අනුව රුපියල් මිලියන 1,000ක ප්‍රතිපාදන වෙන් කර තිබේ. අදාළ කාර්යය සඳහා, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව, පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තු, සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව, දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් සම්බන්ධ කර ගනිමින් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව, හඳුනාගනු ලැබ ඇති නිර්ණායක මත පදනම්ව පහත සඳහන් කණ්ඩායම්වලට අයත් වූවන් වෙත මූල්‍යාධාර ලබා දීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා සහ කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යතුමිය ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
* වයස අවුරුදු 18 සම්පූර්ණ වීම මත පසුගිය වසර 10ක කාලසීමාව තුළ (2015-06-30 දිනෙන් පසුව) ආයතනික රැකවරණයෙන් ඉවත් ව, විවාහ වී සිටින හෝ විවාහ වීමට අපේක්ෂාවෙන් පසුවන එහෙත් ස්ථාවර සහ ආරක්ෂිත නිවාසයක් නොමැති තරුණියන් සහ තරුණයන්.
* නිසි පවුල් පසුබිමක් හෝ ජීවනෝපායක් නොමැති වීම හේතුවෙන් තවදුරටත් ළමා සංවර්ධන මධ්‍යස්ථානවල රැඳී සිටින වයස අවුරුදු 18 ඉක්මවූ තරුණ පිරිස් (විශේෂයෙන් කාන්තාවන්).
මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ තුන්වන කොටසේ (පොතුහැර සිට ගලගෙදර දක්වා) පළමු අදියරේ පැකේජ 03ක් සඳහා කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම
- පොතුහැර සිට රඹුක්කන දක්වා වන මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ තුන්වන කොටසේ පළමු අදියර පැකේජ 19කට බෙදා ඇත. එම මාර්ගයේ පළමු අදියර (කිලෝමීටර 0+000 සිට කිලෝමීටර 13+800 දක්වා කොටස) මෙහෙයුම් කටයුතු කළ හැකි මට්ටම තෙක් ගෙන ඒම පිණිස සමාහාර පාවරිය ආශ්‍රිත කටයුතු (Aggregate Base Course), ඇස්ෆෝල්ට් (Asphalt Concrete) යෙදීම, මාර්ගය සලකුණු කිරීම, සංඥා පුවරු ස්ථාපනය කිරීම, අධිවේගී මාර්ග මෙහෙයුම් කටයුතු සඳහා ගොඩනැගිලි ඉදිකිරීම සහ ගාස්තු අය කිරීමේ පද්ධති ස්ථාපනය කිරීම වැනි ඉතිරි වැඩ නිම කිරීම අවශ්‍ය වේ. ඒ අනුව, එකී කාර්යයන් සඳහා ඉදිකිරීම් පැකේජ 03ක් යටතේ ජාතික තරගකාරී ලංසු කැඳවා ඇත. ලැබී ඇති ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ මත පදනම්ව, එකී සියලු පැකේජ සඳහා සාරානුකූලව ප්‍රතිචාර දක්වන ලද අවම ලංසුකරු වූ මාගා ඉංජිනියරින් ප්‍රයිවට් ලිමිටඩ් වෙත කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
පරන්තන්-කරච්චි-මුලතිව් (A035) මාර්ගයේ වට්ටුවාකල් පාලම යළි ඉදිකිරීම සඳහා කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම
- වට්ටුවාකල් පාලම නමින් හැඳින්වෙන පරන්තන්-කරච්චි-මුලතිව් (A035) මාර්ගයේ අංක 50/1 දරන පාලම මුලතිව් දිස්ත්‍රික්කයේ නන්දිකඩාල් කලපුව හරහා පිහිටා ඇත. 2009 වර්ෂයේදී අවසන් වරට අලුත්වැඩියා කර ඇති මෙම පාලම මේ වන විට අනාරක්ෂිත තත්ත්වයේ පවතී. එබැවින්, මාර්ග සංවර්ධන අධිකාරිය විසින් එය මංතීරු 02කින් යුත් නව පාලමක් ලෙස ඉදි කිරීමට සැලසුම් කර ඇත. ඒ සඳහා ජාතික තරඟකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය මත ලංසු කැඳවා තිබේ. ලැබී ඇති ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ මත පදනම්ව, සාරානුකූලව ප්‍රතිචාර දක්වන ලද අවම ලංසුකරු වන M/s RR Construction (Pvt) Limited වෙත එකී පාලම ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
කුරුන්චතිවු (අලිමංකඩ - උතුර) ලුණු ලේවාය නැවත ආරම්භ කිරීම
- උතුරු හා නැගෙනහිර පළාත්වල පැවති යුධමය වාතාවරණය හේතුවෙන් නැවතී තිබූ කුරුන්චතිවු (අලිමංකඩ - උතුර) ලුණු ලේවායේ නිෂ්පාදන හා මෙහෙයුම් කටයුතු රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රමය යටතේ ආරම්භ කිරීම සඳහා දේශීය ආයෝජකයින් වෙතින් අභිලාශ ප්‍රකාශ කිරීම් කැඳවීමට පියවර ගෙන ඇතත්, එමඟින් අපේක්ෂිත ප්‍රතිඵල අත්කර ගැනීමට නොහැකි වී ඇත. එබැවින්, කුරුන්චතිවු (අලිමංකඩ - උතුර) ලුණු ලේවායේ නිෂ්පාදන කටයුතු රාජ්‍ය‑පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රමය යටතේ නැවත ආරම්භ කිරීම සඳහා ජාත්‍යන්තර වශයෙන් අභිලාශ ප්‍රකාශ කැඳවීම පිණිස කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
මත්ස්‍ය හා මුහුදු ආහාර නිෂ්පාදනවල ආහාර සුරක්ෂිතතාව සහ මිල ස්ථාවරත්වය සහතික කිරීම සඳහා ලංකා ධීවර සංස්ථාව සතු ශීතාගාරවල හදිසි පුනරුත්ථාපන හා අලුත්වැඩියාව
- ලංකා ධීවර සංස්ථාව සතු මෝදර පිහිටි ශීතාගාර පහසුකම දකුණු ආසියාවේ පිහිටා ඇති විශාලතම ශීතාගාර පහසුකමක් ලෙස සලකනු ලැබුවද, පසුගිය කාලයේදී නිසි පරිදි නඩත්තු නොකිරීමත්, කළමනාකාරණ දුර්වලතාත් හේතුවෙන් මේ වන විට එහි ශීතාගාර අකර්මන්‍ය තත්ත්වයට පත්ව ඇත. එබැවින්, මෙට්‍රික්ටොන් 200ක ධාරිතාවකින් යුත් ශීතාගාරයක් සහ මෙට්‍රික්ටොන් 2.5ක ධාරිතාවකින් යුත් අධිශීතාගාරයක් කඩිනමින් අලුත්වැඩියා කර භාවිතයට ගැනීමට හැකි වන පරිදි ප්‍රතිසංස්කරණය කිරීමට සැලසුම් කර තිබේ. එකී අලුත්වැඩියාව සඳහා රුපියල් මිලියන 86ක මුදලක් වැය වන බවට ඇස්තමේන්තු කර ඇත. ඒ අනුව, 2025 වර්ෂය වෙනුවෙන් ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශය වෙත දැනටමත් වෙන් කරනු ලැබ ඇති ප්‍රතිපාදන කළමනාකරණය කර ගනිමින්, ශීතාගාර ප්‍රතිසංස්කරණ කටයුතු ක්‍රියාත්මක කිරීම පිණිස ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
(397 අධිකාරය වූ) 1938 අංක 53 දරන ලංකා බැංකු ආඥාපනත සංශෝධනය කිරීම
- ලංකා බැංකුවේ ප්‍රාග්ධන ව්‍යූහය පුළුල් කිරීම, අවසරලත් කාර්යයන් පුළුල් කිරීම, බැංකුවේ සාමාන්‍ය පාලන ව්‍යූහය ශක්තිමත් කිරීම ආදී කාර්යයන් ඉටු කර ගත හැකි වන පරිදි (397 අධිකාරය වූ) 1938 අංක 53 දරන ලංකා බැංකු ආඥාපනත සංශෝධනය කිරීම සඳහා 2024-07-15 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, අදාළ කාර්යය සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීම පිණිස නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් ලබා දී තිබේ. එකී සංශෝධන පනත් කෙටුම්පත සකස් කිරීම සම්බන්ධයෙන් වර්තමාන අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
1942 අංක 31 දරන ජාතික කෞතුකාගාර ආඥාපනත සංශෝධනය කිරීම
- කෞතුක වස්තූන් සංරක්ෂණය කිරීම, කෞතුක වස්තූන් සම්බන්ධයෙන් වන වැරදි සඳහා දඬුවම් නිශ්චය කිරීම, කෞතුක භාණ්ඩ එක්රැස් කිරීමේ කාර්යයේදී භාණ්ඩ වර්ග කිරීමේ නිර්ණායක හඳුන්වා දීම, නව කෞතුකාගාර ඇති කිරීම, පවතින කෞතුකාගාර නියාමනය කිරීම, කෞතුකාගාර විෂය පථය පුළුල් කිරීම සහ පරිපාලන ව්‍යූහය ශක්තිමත් කිරීම යන අරමුණු සහිතව දැනට බලපවත්නා 1942 අංක 31 දරන ජාතික කෞතුකාගාර ආඥාපනත සංශෝධනය කිරීමේ අවශ්‍යතාව හඳුනා ගනු ලැබ ඇත. ඒ අනුව, එකී ආඥාපනත සංශෝධනය කිරීම සඳහා අවශ්‍ය සංශෝධන හඳුනාගැනීම සහ ඊට අවශ්‍ය තාක්ෂණික තොරතුරු ලබා ගැනීම සඳහා අදාළ ක්ෂේත්‍රයේ විද්වතුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීම සඳහා මීට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව, එකී කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති වාර්තාවේ සඳහන් නිර්දේශ මත පදනම්ව ජාතික කෞතුකාගාර පනත සංශෝධනය කිරීම පිණිස බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
අපනයන කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත් කිරීම
- අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරය දරන ලද ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනී ඒ.පී.පී.දිස්නා මෙනෙවිය මේ වන විට රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලබා ඇත. ඒ අනුව, දැනට එම දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් (පර්යේෂණ) ලෙස සේවය කරනු ලබන ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනී එම්.කේ.එස්.ආර්.ඩී.සමරසිංහ මහත්මිය වහාම ක්‍රියාත්මක වන පරිදි අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා පත් කිරීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.