නීතිපතිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දීමක්..

පැමිණිල්ලක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට පුද්ගලයෙකු ආයතනයකට කැඳවන විට,ක්‍රියා කළ යුතු ආකාරය දැක්වෙන චක්‍රලේඛයක් සියලු පොලිස් ස්ථාන වෙත නිකුත් කිරීමට වැඩබලන පොලිස්පති කටයුතු කර ඇතැයි නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි..

by Staff writer 04-07-2025 | 11:59 AM

COLOMBO (News 1st) - යම් කිසි සිද්ධියකට අදාළව ලද පැමිණිල්ලක් සම්බන්ධව කටඋත්තරයක් ලබා ගැනීම සඳහා පුද්ගලයකු යම් ආයතනයකට කැඳවන විට එම පැමිණිල්ලේ අන්තර්ගත කරුණු පිළිබඳව පුද්ගලයා දැනුවත් කළ යුතු ආකාරය දැක්වෙන චක්‍රලේඛයක් සකස් කර දිවයිනේ සියලු පොලිස් ස්ථාන වෙත නිකුත් කිරීමට වැඩබලන පොලිස්පතිවරයා විසින් කටයුතු කර තිබෙන බව නීතිපතිවරයා ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

බලශක්ති විශේෂඥයෙකු වන විදුර රැළපනාව මහතා විසින් අපරාධ පරීක්ණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකයට එරෙහිව ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඊයේ කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදුකර තිබේ.

පෙත්සම අචල වෙංගප්පුලි, සම්පත් විජයරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක්  හමුවේ කැඳවනු ලැබුවේ ය.

පෙත්සම්කරු සිය පෙත්සම කියා සිටින්නේ තමන් විසින් සමාජ මාධ්‍යයේ පළ කළ අදහසක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අවශ්‍ය බව සඳහන් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක විමර්ශන ඒකකයේ නිලධාරියෙකු විසින් දුරකතන මාර්ගයෙන් දැනුම් බවයි.

පසුව තමාට එරෙහිව තිබෙන පැමිණිල්ල කුමක්ද? සහ එහි අන්තර්ගත කරුණු මොනවාදැයි තමන් අදාළ පොලිස් නිලධාරියාගෙන් විමසා සිටි බවත් ඊට පිළිතුරු ලබාදීම වග උත්තරකාර පොලිස් නිලධාරීන් ප්‍රතික්ෂේප කළ බවත් පෙත්සම්කරු චෝදනා කරයි.

එසේ තොරතුරු ලබා නොදීම තුළින් වග උත්තර කාල පොලිස් නිලධාරින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා පෙත්සම්කරු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

මෙම පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා අධිකරණයට දැනුම් දී තිබුණේ පොලිස්පති, දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු පරිගණක අපරාධ අංශයේ නිලධාරීන් මීට පෙර අධිකරණය හමුවේ පෙනී සිට ලබා දුන් ප්‍රතිඥාවකට අනුව අදාළ චක්‍රලේඛය සකස්කර දිවයිනේ පොලිස් ස්ථාන වෙත නිකුත් කිරීමට කටයුතු කර තිබෙන බවයි.

මෙම දැනුම් දීම සම්බන්ධයෙන් තමන් සෑහීමකට පත්වන බවත් ඒ අනුව පෙත්සම් විභාගය අවසන් කළ හැකි බවත් පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ ය.

ඒ අනුව පෙත්සම් විභාගය අවසන් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ ය.

මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරික්ෂක තිසර , එම අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබේ.