යෝෂිතට හා ඩේසි ආච්චිට අධි චෝදනා

රු. මිලියන 59කට අධික මුදලක් ගැන ඉපැයූ ආකාරය සනාථ කළ නොහැකි වූ යෝෂිතට හා ඩේසි ආච්චිට අධි චෝදනා

by Staff writer 02-07-2025 | 9:27 PM

COLOMBO (News 1st) - මුදල් විශුද්ධිකරණය පනත යටතේ ගොනු කර ඇති තවත් නඩුවකට අදාළව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට සහ ඔහුගේ මිත්තණියක වන ඩේසි ෆොරස්ට් මහත්මියට කොළඹ මහාධිකරණය ඉදිරියේ අද අධි චෝදනා පත්‍ර භාර දුන්නේ ය.  

නඩුව අද කැදවූයේ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා ඉදිරියේ ය.

අධි චෝදනා පත්‍ර භාර දීමෙන් අනතුරුව විත්තිකරුවන් රුපියල් මිලියනය බැඟින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට විනිසුරුවරයා නියම කළේ ය.

විත්තිකරුවන්ට ඇප නියම කළ විනිසුරුවරයා නියෝග කර සිටියේ, ඔවුන්ගේ ඇඟිලි සලකුණු ලබා ගන්නා ලෙසයි.

මෙහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතීඥ ඔස්වල්ඩ් පෙරේරා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරය හා සමාන තවත් නඩුවක් අංක එක මහාධිකරණයේ ලබන 11 වැනිදා කැඳවීමට නියමිත බවට දැනුම් දුන්නේ ය.  

එම නඩුවේ ලේඛන හා මෙම නඩුවේ ලේඛන එක හා සමාන බව පෙන්වා දුන් රජයේ නීතිඥවරයා අදාළ ලේඛනවල යම් අඩුපාඩුවක් තිබේ නම් ඒවා තමන්ට දැනුම් දෙන ලෙසට විත්තියේ නීතිඥවරුන්ගෙන් ඉල්ලා සිටින බවද ඔහු අධිකරණය හමුවේ පැවසුවේ ය.

ඒ අවස්ථාවේදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි සම්පත් මෙන්ඩිස් සහ අනිල් සිල්වා යන ජනාධිපති නීතිඥවරු කියා සිටියේ අදාළ ලේඛන පරීක්ෂා කර යම් අඩුපාඩුවක් තිබේ නම් අධිකරණයට දැනුම් දීමට කටයුතු කරන බවයි. 

කරුණු සලකා බැලූ විනිසුරුවරයා නඩුව අගෝස්තු මස 4 වැනිදා කැඳවීමට දින නියම කළේ ය.

2009 වසරේ මාර්තු මස 31 සහ 2013 වසරේ දෙසැම්බර් මස 12 වන දා අතර කාල සීමාව තුළ උපයා ගත් ආකාරය සනාථ කිරීමට නොහැකි රුපියල් මිලියන 59කට අධික මුදලක් පෞද්ගලික බැංකු ගිණුම් තුනක ස්ථාවර තැන්පතු ගිණුම්වල තැන්පත් කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගැනෙන වැරදි සිදුකළේ යයි චෝදනා කරමින් විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ.

නීතිපතිවරයා විසින් පවරා ඇති මෙම නඩුවේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා තුනක් ගොනු කර තිබේ.