අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයා යළි රිමාන්ඩ්...

අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයා යළි රිමාන්ඩ්...

by Staff writer 13-06-2025 | 9:31 PM

COLOMBO (News 1st) - අනුරාධපුර බන්ධනාගාර අධිකාරී  මෝහන් කරුණරත්න මහතා ලබන 23 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා එම නියෝගය කළේ ඕනෑම ඇප කොන්දේසියක් මත විත්තිකරු මුදා හරින්නැයි, නීතිඥවරුන් කළ ඉල්ලීමක් තුන්වන වරටත් ප්‍රතික්ෂේප කරමිනි.  

අනුරාධපුර මහාධිකරණයේ විභාග වන නඩුවක විත්තිකරු වන ඩබ්ලිව්.එම් අතුල තිලකරත්න නැමැත්තාට ජනාධිපති පොදු සමාව ලබා දී ඇති බව සඳහන් කරමින් සිය අත්සනින් යුතුව ලිපියක් අනුරාධපුර මහාධිකරණයට ඉදිරිපත් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අනුරාධපුර බන්ධනාගාර අධිකාරි මෝහන් කරුණරත්න මහතා පසුගියදා අත්අඩංගුවට ගනු ලැබුවේය.

සැකකරුට ඇප නියම කළහොත් දැනට සිදු කරන විමර්ශනවලට බලපෑමක් විය හැකි බව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ ය.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි, රජයේ අතිරේක සොලිසිටර්  ජනරාල් සුහර්ෂි හේරත් මහත්මිය සඳහන් කළේ, ප්‍රශ්නගත සිද්ධියට අදාළ ලිපි ලේඛන විමර්ශන නිලධාරීන් පුළුල්ව අධ්‍යයනය කිරීම සහ පරීක්‍ෂා කිරීම සිදු කරමින් සිටින බවයි.