ලැබුණු දඬුවමට එරෙහිව මහින්දානන්දගෙන් අභියාචනයක්...

ලැබුණු දඬුවමට එරෙහිව මහින්දානන්දගෙන් අභියාචනයක්...

by Staff writer 09-06-2025 | 4:45 PM

COLOMBO (News 1st) - කොළඹ මහාධිකරණයෙන් නියම කළ වසර 20 ක බරපතල වැඩ සහිත සිර දඬුවමට එරෙහිව, හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා, අද (09) ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කළේ ය.

ඔහුට සිර දඬුවම් නියම වූයේ, 2015 ජනාධිපතිවරණය සමයේ කැරම් බෝඩ් 14,000 ක් සහ දාම් ලෑලි 11,000 ක් නීත්‍යානූකූල නොවන ලෙස මිලදී ගෙන ක්‍රීඩා සංගම් අතර බෙදාදීම තුළින් රජයට රුපියල් මිලියන පනස් තුනකට අධික පාඩුවක් කළ බවට වන චෝදනාවට, වරදකරු කරමිනි.

ඊට එරෙහිව විත්තිකාර හිටපු අමාත්‍යවරයා, අභියාචනා පෙත්සම ගොනු කළේ, නීතිඥ සනත් විජේවර්ධන මහතා මාර්ගයෙනි.

එය, ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා කොළඹ මහාධිකරණයට භාර දී  තිබේ.

පෙත්සම්කරු සිය අභියාචනා පෙත්සමෙන් කියා සිටින්නේ, අල්ලස් කොමිසම ගොනුකළ චෝදනාවලට වරදකරු කෙරුණු තමන්ට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් ඉකුත් මැයි 29 වැනිදා බරපතල වැඩ සහිත වසර විස්සක සිර දඬුවම් හා දඩ මුදල් නියම කළ බවයි.

ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඇතැම් කරුණු වැරදි ලෙස අර්ථකරණය කරමින් නඩු තීන්දුව දී ඇතැයි, ඔහු පෙත්සමෙන් අවධාරණය කරයි.

ඔහු ඉන් පෙන්වා දී ඇත්තේ, විත්තිය ඉදිරිපත් කළ ඇතැම් කාරණා නඩු තීන්දුව දීමේදී මහාධිකරණ විනිසුරු මඩුල්ල සැලකිල්ලට ගෙන නොමැති බවයි.

එවැනි තත්ත්වයක් තුළ තමාට නියම කළ දඬුවම් නියෝගය, නීතියට පටහැනි බව විත්තිකාර පෙත්සම්කරු කියා සිටී.

ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටින්නේ, දණ්ඩන නියෝග බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කර තමා සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි.