මුඛ ආවරණ පළඳින්නැයි දැනුම් දුන් ලිපිය අවලංගු ⁣කෙරේ

කාර්යාල පරිශ්‍රය තුළ මුඛ ආවරණ පළඳින්නැයි දැනුම් දෙමින්, බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්වරිය නිකුත් කළ ලිපිය අවලංගු කෙරේ

by Staff writer 05-06-2025 | 9:23 AM

COLOMBO (News1st) - කාර්යාල පරිශ්‍රය තුළ මුඛ ආවරණ පළඳින්නැයි දැනුම් දෙමින්, බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්වරිය නිකුත් කළ ලිපිය, අවලංගු කර තිබේ.

ඒ, අදාළ ලිපිය සම්බන්ධයෙන් සමාජජාලා තුළ පැතිර යන වැරදි අර්ථකථනය නිවැරදි කිරීම යන ශීර්ෂය යටතේ නිකුත් කළ තවත් ලිපියකිනි.

මුඛ ආවරණ පළඳින්නැයි දැනුම් දෙමින්, බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්වරිය නිකුත් කළ ලිපියට ප්‍රතිචාර දක්වමින්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසන්නේ, එවැනි පොදු උපදෙස් මාලාවක් නිකුත් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.

අදාළ උපදෙස් නැවත සළකා බලන්නැයි සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා කළ දැනුම්දීමකට අනූව, බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්වරිය. පෙර නිකුත් කළ ලිපිය, අවලංගු කර තිබේ.

COVID19 ගෝලීය වසංගතය, 2023 වසරේ මැද භාගයේදී නිමා වීමෙන් පසුව, ශ්වසන රෝග ආවේක්ෂණය සහ පාලන ක්‍රියාවලිය යටතේ,කොරෝනා වසංගතය ද, අනෙකුත් බෝවන රෝග ගණයට ඇතුළත් කර ඇතැයි විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, එම ලිපියෙන් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

ඒ හේතුවෙන් වැසි කාලයේදී ඉන්ෆ්ලුවන්සා වැනි ශ්වසන රෝග වැඩිවීමත් සමඟ COVID19 රෝගය ද ඇතිවීමේ හැකියාවක් තිබෙන බව ඔහු පෙන්වා දී තිබේ.

ඒ අනූව ශ්වසන රෝග කළමනාකරණය සහ වළක්වා ගැනීම පොදු ක්‍රමවේදයන් අනුව කටයුතු කළ යුතු බව, අනිල් ජාසිංහ මහතා සදහන් කළේ ය.

ඔහු පවසන්නේ, පවතින තත්වය මත COVID19 වළක්වා ගැනීම, විශේෂ අවදානම් තත්ත්වයක් ලෙස සැළකීමේ අවශ්‍යතාවක් මෙතෙක් උද්ගතව නොමැති බවයි.