දිස්ත්‍රික්ක 4කට නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීම්...

පවතින වැසි තත්ත්වය හමුවේ,දිස්ත්‍රික්ක 4කට නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීම්...

by Staff writer 27-05-2025 | 5:59 PM

COLOMBO (News 1st) - පවතින වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක 4 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයකට නිකුත් කළ නායයාමේ අනතුරු ඇඟවීමේ නිවේදන තවදුරටත් ක්‍රියාත්මකයි.

ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර, මහනුවර දිස්ත්‍රික්කයේ ගඟ ඉහළ කෝරළය සහ පස්බාගෙ කෝරලේ, කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය, ⁠රුවන්වැල්ල, ⁠යටියන්තොට හා අරනායක යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට එම අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කෙරිණි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ හෙට (28) පෙරවරු 10 දක්වා එම අනතුරු ඇඟවීමේ නිවේදන බලපැවැත්වෙන බවයි.

මේ අතර, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවයි.

නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වයේ බලපෑම හේතුවෙන් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් දැනට පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් ඉදිරි දිනවලදී බලාපොරොත්තු විය හැකි බවද, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු සහ උතුරු-මැද පළාත්වලත් හම්බන්තොට, පුත්තලම සහ ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 40 -50 ක පමණ තද සුළං ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විදා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.