පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් 12ක් නිදහස්..

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 12 දෙනෙකු නිදහස් කිරීමට අධිකරණයෙන් නියෝග...

by Staff writer 17-05-2025 | 9:21 PM

COLOMBO (News 1st) - පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදීන්ට හා ත්‍රස්ත ක්‍රියාවන්ට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන ඇප නියමවී සිටි 12 දෙනෙකු නිදහස් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කර තිබේ.

ඒ අතර සැකකාරියන් 10 දෙනෙකු හා සැකකරුවන් 2 ක් ඇතුළත්.

ත්‍රස්ත මර්ධන විමර්ශන කොට්ඨාසය 2020 දෙසැම්බර් මස 11 දින  අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන රඳවා ප්‍රශ්න කර පසුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසුව ඇප ලැබූ පිරිසක් එලෙස නිදහස් කෙරිණි.

එලෙස නිදහස් කෙරුණේ, සින්ති සතුනා,රවුෆ් ෆාතිමා සාරා,ලෙබ්බෙ රිශානා,සාලිගු ජුනායි තීස්‍යා,කාසීම් මතනියා,ෆාතිමා ෂහිදා,ඉබ්‍රහීම් සර්දා, මොහොමදු ඉර්ෆාන්  සහ මොහොමදු ෂෆාන් යන අයයි.

සැකකරුවන් අධිකරණයේ පෙනී සිටීමෙන් අනතුරුව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණයට කරුණු වාර්තා කරමින් සඳහන් කර සිටියේ  අන්තවාදී ත්‍රස්ත  ක්‍රියාවන්ට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ශන අවසන් කර නීතිපතිවරයාට උදෘත යොමු කළ බවයි.

ඒ අනුව පසුගිය අප්‍රේල් 9 වැනි දින නීතිපතිවරයාගේ උපදෙස් පරිදි පැමිණිල්ලේ කටයුතු අවසන් කරන බව  අධිකරණයට කරුණු වාර්තා කළේ ය.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කරුණු ඉදිරිපත් කරමින් ඉල්ලා සිටියේ සැකකරුවන් සතුව තිබී අත්අඩංගුවට ගත් දුරකථන ඇතුළු නඩු භාණ්ඩ යළි ලබා දෙන නියෝගයක් නිකුත් කරන ලෙසයි.

ඊට ප්‍රතිචාර දැක්වූ ත්‍රස්ත විමර්ශන  නිලධාරීන් ජංගම දුරකථන හයක් යළි ලබාදීමට කටයුතු කරන බව අධිකරණයට දැනුම් දුන්නේ ය.

දෙපාර්ශවය කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් නිදහස් කරමින් සැකකරුවන් සමග අත්අඩංගුවට ගත් භාණ්ඩ බාර දෙන ලෙසට නියෝග කළේ ය.