ජනපති සහ තානාපතිවරුන් පිරිසක් අතර හමුවීමක්..

රට තුළ සිදුව තිබෙන දේශපාලන පරිවර්තනය පිළිබඳ පණිවිඩය ජාත්‍යන්තරයට ගෙන යාම රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ වගකීමක් - ජනපති

by Staff writer 15-05-2025 | 3:07 PM

COLOMBO (News 1st) -ශ්‍රී ලංකාව තුළ සිදුව තිබෙන දේශපාලනික පරිවර්තනය පිළිබඳ පණිවිඩය ජාත්‍යන්තරයට ගෙන යාම හා ජාත්‍යන්තරය හමුවේ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඔසවා තැබීම තානාපතිවරුන් සතු වගකීමක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ විදෙස් රටවල් කිහිපයක් සඳහා ශ්‍රී ලංකා තානාපතිවරුන් ලෙස පත්ව යන නව දූත මණ්ඩල ප්‍රධානීන් සමඟ ජනාධිපති කාර්යාලයේ අද (15) පැවති සාකච්ඡාවේදීය.

විදේශගත ශ්‍රී ලාංකිකයින්ට සේවා සැපයීමේදී ඒ සඳහා මූලිකත්වය දෙමින් විශේෂ අවධානයකින් කටයුතු කරන ලෙසත්, කිසිදු භේදයකින් තොරව සාධාරණව කටයුතු කරන ලෙසත් ජනාධිපතිවරයා නව රාජ්‍යතාන්ත්‍රිකයන්ට උපදෙස් ලබා දුන්නේය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලාංකිකයන්ගේ තැනක් ලෙස ඔවුන්ට හැඟෙන පරිදි කටයුතු කළ යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, රට වෙනුවෙන් තම සේවය කාර්යක්ෂමව සිදු කිරීමට කටයුතු කරන ලෙසද කියා සිටියේය.

ඍජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා මෙන්ම ශ්‍රී ලංකාවේ සිටින ව්‍යවසායකයින්ට විදේශ වෙළෙඳපොළ අවස්ථා සොයා ගැනීමට අවශ්‍ය සම්බන්ධීකරණය රාජතාන්ත්‍රික සේවාවේ කොටසක් බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව, මෙරට ආර්ථිකය නඟාසිටුවීම සඳහා සෘජු විදේශ ආයෝජන හා සංචාරකයින් කැඳවා ගෙන ඒම තානාපතිවරයාට පැවරෙන ප්‍රධාන වගකීමක් බවත් ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීමට රජය සූදානම් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ සිදු වූ ඇතැම් සිදුවීම් නිසා පසුගිය කාලයේ තානාපතිවරුන් අපහසුතාවට පත්ව ඇති බවත් වත්මන් ආණ්ඩුව තානාපතිවරුන්ගේ ගෞරවයට හානි වන දෑ නොකරන බවත් කී ජනාධිපතිවරයා තානාපතිවරුන් වෙනුවෙන් ආණ්ඩුව ඕනෑම අවස්ථාවක පෙනී සිටින බවද සඳහන් කළේය.

නව දූත මණ්ඩල ප්‍රධානීන් ලෙස ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස පී. එම්. කොළොන්නෙ, පකිස්ථානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස රියර් අද්මිරල් ෆ්‍රෙඩ් සෙනෙවිරත්න, එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස එස්.ඩී.එන්.යු. සේනාධීර, අමෙරිකානු නිව්යෝක් එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත ලෙස ජයන්ත ජයසූරිය, කියුබාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස ආර්. එම්. මහින්ද රත්නායක, ජපානයේ ශ්‍රී ලංකා තානාපති ලෙස මහාචාර්ය පී. ජනක් කුමාරසිංහ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති ලෙස මහාචාර්ය අරූෂා කුරේ යන මහත්ම මහත්මිහු මෙලෙස පත්වීම් ලැබ සිටිති.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජා, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ යන මහත්ම මහත්මීහුද මෙම අවස්ථාවට එක් වූහ.