මහින්දානන්දගෙන් අධිකරණයට ඇප අයැදුමක්..

අත්අඩංගුවට ගන්න එපා! මහින්දානන්දගෙන් අධිකරණයට ඇප අයැදුමක්..

by Staff writer 14-05-2025 | 9:38 PM

COLOMBO (News 1st) - ඉකුත් රජය සමයේ ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් මෙරටට ආනයනය කිරීම සම්බන්ධයෙන් තමන්ව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා, හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අපේක්ෂිත ඇප අයදුම්පතක් ගොනුකර තිබේ.

අද (14) පැමිණිල්ල කැඳ වූ අවස්ථාවේ මහින්දානන්ද අලුගමගේ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු පවසා සිටියේ, මෙම අපේක්ෂිත ඇපය සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ජනාධිපති නීතීඥ කාලිංග ඉන්දතිස්ස මහතා බලාපොරොත්තුවෙන් සිටින බවයි.

ඒ අනුව ඒ සඳහා සිකුරාදා දිනය ලබා දෙන ලෙස නීතීඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

ඊට පිළිතුරු දෙමින් මහේස්ත්‍රාත්වරිය පැවසූවේ හෙට (15) සහ සිකුරාදා දින කැඳවීමට දින නියමව ඇති නඩු බොහෝමයක් ඇති බවත් එම නිසා මෙම නඩුව සම්බන්ධයෙන් එළැඹෙන සඳුදා දින අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙසයි.

ඒ අනුව පෙත්සම මැයි 19 වැනිදා යළි කැඳවීමට නියමිතයි.