වාහන ආනයන ගැන පාර්ලිමේන්තු විවාදය අද...

වාහන ආනයන සීමා ලිහිල් කළ ගැසට් පත්‍රය ගැන පාර්ලිමේන්තු විවාදය අද...

by Staff writer 08-05-2025 | 8:15 AM

COLOMBO (News1st) -වාහන ආනයනය සම්බන්ධයෙන් පැවති සීමා කිහිපයක් ඉවත් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද(08) පැවැත්වේ.

පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ වන්නේ, පෙරවරු 9.30 ටයි.

ඒ, කතානායක වෛද්‍ය ජගත් වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙනි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ ගැසට් නිවේදනය නිකුත් කළේ, පසුගිය අප්‍රේල් 29 වැනිදායි.

මේ අතර සංශෝධිත ජාතික ගමනාගමන කොමිෂන් සභා පනත් කෙටුම්පත, අනුමැතිය සඳහා අද(08) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

ජාතික ගමනාගමන කොමිසමේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් නියෝමි ජයවර්ධන මහත්මිය සඳහන් කළේ, නූතන අවශ්‍යතා මත පදනම් වූ සංශෝධන කිහිපයක්, ඊට එක් කර ඇති බවයි.

ත්‍රීරෝද රථ, පාසල් ප්‍රවාහන සේවා සහ කාර්යාල ප්‍රවාහන සේවා ගාස්තු නියාමන කිරීමට නව සංශෝධන හරහා ජාතික ගමනාගමන කොමිසමට බලය පැවරි ඇත.

1991 අංක 37 දරන ජාතික ගමනාගමන කොමිෂන් සභා පනත සංශෝධනය කර, පාර්ලිමේන්තු අනුමැතිය සඳහා යොමු කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූයේ පසුගිය පෙබරවාරී මාසයේදීයී.