RDA අධ්‍යක්ෂ ජනරාල්ගේ පත්වීමට දුන් නියෝගය

මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්ගේ පත්වීම බල රහිත කරමින් රීට් ආඥාවක්..

by Staff writer 08-05-2025 | 7:40 PM

COLOMBO(News 1st)-මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස එස්.එම්.පී. සූරිය බණ්ඩාර මහතා පත් කිරීමට ගනු ලැබූ තීරණය අහෝසි කරමින් අභියාචනාධිකරණය අද රිට් ආඥාවක් නිකුත් කළේ ය.

කේ.ඩබ්ලිව්.කණ්ඩම්බි මහතා 2024 මාර්තු 05 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි එම තනතුර සඳහා පත් කරන ලෙස ද අභියාචනාධිකරණය මාර්ග සංවර්ධන අධිකාරියට සහ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයාට තවත් නියෝගයක් කළේ ය.

විනිසුරු මඬුල්ල එම නියෝගය ‍කළේ, අදාළ පත් කිරීම අභියෝගයට ලක් කරමින් කේ. ඩබ්ලිව්. කණ්ඩම්බි මහතා ඉදිරිපත් කළ රීට් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුවයි.

පෙත්සම වැඩබලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ සරත් දිසානායක යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූවේ ය.

නඩු විභාගයේදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා මහතා කියා සිටියේ, තම සේවාදායකයා සිවිල් ඉංජිනේරුවරයෙකු වන අතර ඔහු වසර 23කට ආසන්න කාලයක් මාර්ග සංවර්ධන අධිකාරියේ පලපුරුදු සේවකයෙකු බවයි.

මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා සම්මුඛ පරීක්‍ෂණ පැවැත්වූ අතර ඊට සහභාගී වූ පෙත්සම්කාර සිය සේවාදායකයා ලකුණු 61 ක් ලබාගත් බව ඔහු පෙන්වා දුන්නේ ය.

නමුත් තම සේවාදායකයාට වඩා අඩු ලකුණු ලබාගත් එස්.එම්.පී. සූරියබණ්ඩාර මහතා එම තනතුර සඳහා පත් කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය 2024 මාර්තු 05 වනදා තීන්දු කළ බව ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේ ය.

තම සේවාදායකයාට වඩා අඩු ලකුණු ලබාගත් පුද්ගලයෙකු එම ධූරය සඳහා පත් කිරීම නීතියට පටහැනි බවින්  එම තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ජනාධිපති නීතිඥවරයා අවධාරණය කළේ ය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් පසු තීන්දුව ප්‍රකාශයට පත් කළ අභියාචනාධිකරණයේ වැඩ බලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් මහතා සඳහන් කළේ මෙම පත්කිරීම සිදුකිරීමේදී වගඋත්තරකරුවන් පත්වීම් පටිපාටිය උල්ලංඝණය කරමින් කටයුතු කර ඇති බවයි.

ඒ අනුව එම ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි යැයි තීන්දු කරමින් අභියාචනාධිකරණ අද එම නියෝගය නිකුත් කළේ ය.