පාප් වහන්සේ තේරීම තීරණයකින් තොරව අවසන්...

නව පාප් වහන්සේ තෝරා ගැනීමේ පළමු වටයේ ඡන්ද විමසීම තීරණයකින් තොරව අවසන්...

by Staff writer 08-05-2025 | 7:53 AM

COLOMBO (News1st) - නව පාප්වහන්සේ තෝරා පත්කර ගැනීමේ පළමු වටයේ ඡන්ද විමසීම තීරණයකින් තොරව අවසන් වී තිබේ.

ඒ, වතිකානයේ සිස්ටයින් දේවස්ථාන කවුලුවෙන් ඉහළ අහසට කළු දුමාරයක් නිකුත් කරමිනි.

රහස් ඡන්ද විමසීම පිළිබඳ ලෝකවාසීන්ට දැනුම් දෙනු ලබන්නේ, එම කවුළුවෙන් නිකුත් කරන දුමාරය මගිනි.

ඒ අනූව කළු දුමාරයෙන් අදහස් වන්නේ, පළමු ඡන්ද විමසීමෙන් පාප්වහන්සේ තෝරා ගැනීමට නොහැකි වී ඇති බවයි.

පාප් වහන්සේ තෝරා ගත් විට එම කවුළුවෙන් නිකුත් වන්නේ, සුදු දුමාරයකි.

වතිකානය නිවේදනය කළේ, අද(08) ඒ වෙනුවෙන් රහස් ඡන්ද වට කිහිපයක් පැවැත්වීමට නියමිත බවයි.

කොන්ක්ලේව් හෙවත් නව පාප්වහන්සේ තෝරා ගැනීමේ ක්‍රියාවලිය, ඊයේ(07) ආරම්භ විය.

ඒ වෙනුවෙන් එක්ව සිටින කාදිනල් හිමිවරුන් සංඛ්‍යාව, 133 කි.

පාප් වහන්සේ තෝරා ගන්නා තෙක්, එම කාදිනල් හිමිවරුන්ට බාහිර ලෝකය සමග කිසිදු සබඳතාවක් පැවැත්වීමට අවස්ථාවක් නොමැත.

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් හිමිපාණන් ස්වර්ගස්ථ වීමත් සමග මෙම රහස් ඡන්දය පැවැත්වනේනේ, 267 වැනි පාප්වහන්සේ තෝරා පත් කර ගැනීම සඳහායි.