ජනපති අරමුදල ගත් පිරිසක් ගැන තොරතුරු ඉල්ලයි..

ජනපති අරමුදලින් ප්‍රතිකාර ගත් මහජන නියෝජිතයින් 22 දෙදෙනෙකු ගැන තොරතුරු දෙන්නැයි, අධිකරණයෙන් රෝහල් අධ්‍යක්ෂවරුන්ට නියෝග....

by Staff writer 01-05-2025 | 4:44 PM

COLOMBO (News 1st)-

ජනාධිපති අරමුදලේ මුදල් අවභාවිත වූ බව කියන සිද්ධියට අදාළව මහජන නියෝජිතයින් 22 දෙදෙනෙකු ලබා ගත් ප්‍රථිකාර සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන්නැයි, රජයේ සහ පෞද්ගලික රෝහල්වල අධ්‍යක්ෂකවරුන්ට අධිකරණය නියෝග කර තිබේ.

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් මගින් කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මෙනවිය හමුවේ කළ ඉල්ලීමක් සලකා බලමිනි.

විමර්ශනයට ලක් කෙරෙන මන්ත්‍රීවරුන් විදේශ රෝහල්වලදී ප්‍රතිකාර ලබා ගෙන ඇත්නම් ඒ සම්බන්ධ තොරතුරු ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහය ලබා දෙන්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරියට ද අධිකරණය නියෝග කළේ ය.

2008 සිට 2014 දක්වා ජනාධිපති අරමුදලෙන් හිටපු මැති ඇමතිවරුන් 22 දෙදෙනෙකු රුපියල් කෝටි 10කට අධික මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශය විමර්ශන සිදු කරයි.

ඊට අදාළව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවස්ථා දෙකකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශ ලබා දුන්නේ ය.