අධිකරණය නිශ්ප්‍රභ කළ මූලික අයිතිවාසිකම් පෙත්සම..

කැස්බෑව නගර සභාවට ජාතික ජනබලවේගය ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමේ නියෝගයක් ඉල්ලා ගොනු කළ පෙත්සම නිශ්ප්‍රභ කෙරේ...

by Staff writer 28-04-2025 | 10:31 PM

COLOMBO (News 1st) - කැස්බෑව නගර සභාව සඳහා ජාතික ජන බලවේගය විසින් ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය  අද (28) විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කළේ ය.

ඒ පෙත්සම ප්‍රීති පද්මන් සූරසේන, ජනක් ද සිල්වා, සහ සම්පත් අබේකෝන් යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.

කැස්බෑව නගර සභාව සඳහා සමගි ජන බලවේගයෙන් ඉදිරිපත්ව සිටින අපේක්ෂකයකු වන එම් .ටී .රත්නසිරි ප්‍රනාන්දු මහතා පෙත්සම ගොනු කර තිබිණි.

කැස්බෑව නගර සභාව සඳහා ජාතික ජන බලවේගය ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රයේ ඇතුළත්ව සිටින එස්. කේ.එල්. විලේකා ද අල්විස් නැමති අපේක්ෂිකාව 2024 වසරේ ජුනි මාසයේ සිට 2025 වසරේ මාර්තු මාසය තෙක් එම නගර සභාවේ සේවය කර ඇති බව පෙත්සමේ සඳහන්.

එමගින් පෙන්වාදී ඇත්තේ, මැතිවරණ නීතිය අනුව මැතිවරණය පැවැත්වීමට පෙර වසරක කාලයක අතරතුර නගර සභාවක සේවය කළ අයෙකු එම නගර සභාවේ සභික ධුරයක් සඳහා තරග කිරීම නීතියට පටහැනි බවයි.

ඒ අනුව එම නාම යෝජනා පත්‍රය නීතියට පටහැනි යැයි තීන්දු කොට එය ප්‍රතික්ෂේප කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සමෙන් ඉල්ලා තිබිණි.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කනිෂ්කා ද සිල්වා මහත්මිය එහිදී පෙන්වාදුන්නේ මෙම පෙත්සම විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය මේ අවස්ථාවේ අධිකරණ බලයක් නොමැති බවයි.

වගඋත්තරකාර අපේක්ෂිකාව යම් හෙයකින් ජයග්‍රහණය කළහොත් ඉන් අනතුරුව ඡන්ද පෙත්සමක් මාර්ගයෙන් එම කරුණ අභියෝගයට ලක් කළ යුතු බව පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය මූලික අයිතිවාසිකම් පෙත්සමක් මාර්ගයෙන් එම කරුණ අභියෝගයට ලක් කළ නොහැකි බව අවධාරණය කළේ ය.

දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ  විනිසුරු මඩුල්ල පෙත්සම මගින් ඉල්ලා සිටින සහන ප්‍රදානය කිරීමට තරම් නීතිමය පදනමක් අනාවරණය නොවන හෙයින් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන බව පැවසුවේ ය.