05 වැනි ණය වාරිකය මුදා හැරීමට IMF එකඟතාව

05 වැනි ණය වාරිකය මුදා හැරීමට IMF කාර්ය මණ්ඩල එකඟතාව

by Staff writer 25-04-2025 | 7:23 PM

COLOMBO (News 1st)-කොළඹදී සහ වොෂින්ටනයේදී පැවති දීර්ඝ සාකච්ඡාවලින් පසුව විස්තීර්ණ ණය පහසුකමට සහ ප්‍රතිසංස්කරණ වැඩසටහනට අදාළ සිව් වන සමාලෝචනය පිළිබඳ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අද පස්වරුවේ නිවේදනය කළේ ය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා ධූත මණ්ඩල ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ මහතා කියා සිටියේ විධායක මණ්ඩලයේ සමාලෝචනය අවසන්වූ පසු ණය මුදලට අදාළ පස්වන වාරිකය වන ඩොලර් මිලියන 344 මුදාහරිනු ඇති බවයි.  

කාර්යය මණ්ඩල එකඟතාව පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා ධූත මණ්ඩල ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ මහතා උපුටා දක්වමින් නිකුත් කළ නිවේදනයේ කරුණු කිහිපයක් අවධාරණය කර තිබේ.

එහි සදහන් වන්නේ, පිරිවැය ගැලපුම් ක්‍රමවේදයට අනුගතව විදුලිය ගාස්තු පවත්වාගෙන යාම සහ ප්‍රමාණවත් ණය ප්‍රතිව්‍යුහගතකරණ ප්‍රගතිය පිළිඹිබු කිරීම මෙම එකගතාව කෙරෙහි බලපානු ඇති බවයි.

ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවළිය අඛණ්ඩව පවත්වාගෙනයාම අගය කරන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ධූත මණ්ඩල ප්‍රධානියා 2024 දී අර්බුදයෙන් පසු ආර්ථික වර්ධනය සියයට 5 කින් ඉහළ යාම ප්‍රශංසනීය ප්‍රතිඵලයක් බවද අවධාරණය කර  තිබේ.