එ.ජාතීන් ඉන්දියාවෙන් සහ පකිස්ථානයෙන් කළ ඉල්ලීම

කාශ්මීර ගැටලුව හමුවේ උපරිම සංයමයෙන් කටයුතු කරන්න - එක්සත් ජාතීන් ඉන්දියාවෙන් සහ පකිස්ථානයෙන් ඉල්ලයි

by Staff writer 25-04-2025 | 12:01 PM

COLOMBO (News 1st) - කාශ්මීර ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් ඇතිවී තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ උපරිම සංයමයෙන්  ක්‍රියාකරන ලෙස එක්සත් ජාතීන්, ඉන්දියාවෙන් සහ පකිස්ථානයෙන් ඉල්ලා තිබේ.

එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පැවසුවේ, මේ වනවිට ඇති වී තිබෙන තත්ත්වය තවදුරටත් පිරිහීමට ලක් නොවීමට වගබලා ගතයුතු බවයි.

පකිස්ථානය සහ ඉන්දියාව අතර ඕනෑම ගැටලුවක්, අන්‍යෝන්‍ය මැදිහත්වීමකින් සාමකාමීව විසඳා ගැනීමට හැකි බවට විශ්වාස කරන බවත් ඔහු ප්‍රකාශ කළේ ය.

එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේ, පසුගිය අඟහරුවාදා කාශ්මීරයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ඇති වී ඇති නොසන්සුන්කාරී තත්ත්වය පිළිබද අදහස් දක්වමිනි.

පකිස්ථාන ආරක්ෂක අමාත්‍යවරයා පැවසුවේ මෙය වැරදිකරුවා සැඟවීමට ඉන්දියාව විසින් පකිස්ථානට චෝදනා එල්ල කරන බවයි.

කෙසේ වෙතත් ඔහු එම ප්‍රකාශය සනාථ කිරීමට කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කර නොමැත.

මේ අතර කාශ්මීර දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දියාව සමග ඇති කරගත් සිම්ලා සාම ගිවිසුම අත්හිටුවන බව, පකිස්ථානය නිවේදනය කළේ ය.

ඒ, ඉන්දියාව, පකිස්ථානයට එරෙහිව ප්‍රකාශයට පත්කළ දැඩි රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ගවලට ප්‍රතිචාර ලෙසය.

සියලු පකිස්ථාන ජාතිකයින්ට වීසා නිකුත් කිරීම, ඉන්දියාව ඊයේ (24) පස්වරුවේ අත්හිටවනු ලැබීය.

ඒ අනුව එරට සිටින සියලු පකිස්ථාන ජාතිකයින් පැය 48 ක් ඇතුළත ඉන්දියාවෙන් පිටව යා යුතු අතර වෛද්‍ය හේතු මත වීසා ලබාගත් පුද්ගලයින්ට ලැබෙන කාලය පැය 72කි.

පසුගිය අඟහරුවාදා කාශ්මීරයේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයින් 26 දෙනෙකු මිය ගියේ ය.

තුවාල ලැබූ සංඛ්‍යාව 17කි.