සුදතුම් පියාණන්ගේ ස්වර්ගස්ථයට මහාබෝධි සංගමයේ ශෝකය

ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ස්වර්ගස්ථය වෙනුවෙන් ශ්‍රී ලංකා මහාබෝධි සංගමය ශෝකය පළ කරයි..

by Staff writer 22-04-2025 | 11:34 AM

COLOMBO (News 1st)-

ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීම පිළිබඳ  ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති ,ජපානයේ ප්‍රධාන සංඝනායක අති පූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන් බලවත් ශෝකය ප්‍රකාශ කර තිබේ.

අති පූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන් සඳහන් කර සිටියේ, ශුද්ධෝතම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අතිශය නිහතමානී කමින් යුක්ත, ආගමික සහජීවනය පිළිබඳ ඉතාමත් ගැඹුරු දර්ශනයකින් යුත් දිළිඳු ජනයා කෙරෙහි මහා ආදරයකින් යුක්ත ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ගෞරවනීය ශ්‍රාවකයෙක් බවයි.

2015 දී ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කළ අවස්ථාවේ දී මාලිගාකන්ද අග්‍රශ්‍රාවක මහාබෝධි විහාරයට සැපත්වීම උන් වහන්සේගේ ආගමික සහජීවනයේ කැපී පෙනුණු සිදුවීමක් විය.

බෞද්ධ විහාරයකට සැපත් වූ ප්‍රථම පාප් වහන්සේ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ය.

සැබෑ කිතු දහම හා සාමය ලොව පුරා ප්‍රචලිත කිරීමට සිය ජීවිත කාලයම කැප කළ උන්වහන්සේට ස්වර්ග මෝක්ෂ සුවය ලැබේවායි බානගල උපතිස්ස නා හිමියෝ සිය ශෝක පණිවිඩයෙන් ප්‍රාර්ථනා කරති.