.webp)
ප්‍රහාරයෙන් මියගිය, තුවාල ලැබූ සහ පීඩාවට පත් වූ පිරිස් සිහි කරමින් දිවයිනේ දේවස්ථාන රැසක දේව මෙහෙයන් සංවිධාන කර තිබේ.
ප්‍රධාන සැමරුම් උත්සවය අද කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනී දේවස්ථානයේදී පැවැත්වීමට නියමිතයි.
මියගිය පිරිස් සිහිපත් කර අද උදෑසන 8. 45 සිට 8.47 දක්වා විනාඩි දෙකක නිහැඬියාවක් පවත්වන්නැයි ජාතික කතෝලික සභාව ජනතාවට දැනුම් දෙයි.
පාස්කු ප්‍රහාරයෙන් දේවස්ථානවලදී මියගිය බැතිමතුන්, විශ්වාසයේ විරුවන් හෙවත් ඇදහිල්ලේ සාක්ෂිකරුවන් ලෙස නම් කිරීමේ සන්නස් පත්‍රය අද පළමු වරට ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
ඒ, අද පස්වරුවේ කටුවපිටිය ශුද්ධ වූ සෙබස්තියන් මුනිතුමන්ගේ දේවස්තානයේ පැවැත්වෙන දේවමෙහෙයේදී ය.
2019 අද වැනි දිනක මෙරට අඳුරු වළාවකින් වැසී ගියේ,, පාස්කු ඉරිදාව සමරමින් දේවස්ථානවල දේව මෙහෙයන්ට සහභාගි වූ කතෝලික ජනතාව ඉලක්ක කර එල්ල කළ ත්‍රස්ත්‍ර ප්‍රහාර හේතුවෙන් ය.
මෙරට දේවස්ථාන 3 , කොළඹ හෝටල් හා අවන්හල් 7 කට එදින එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරවලින් අහිමි වූ මිනිස් ජීවිත සංඛ්‍යාව 272 කි.
තවත් පිරිසක් අබාධිතයින් බවට පත් වූයේ එම අමිහිරි මතකයන් යළි යළිත් අප ඉදිරියේ මවා පාමින්.
මේ අතර, පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය සිදුවී අදට වසර 6 ක් පිරීම වෙනුවෙන් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සහ කොටහේන ශාන්ත ලුසියා දේවස්ථානවලදි පැවැත්වෙන විශේෂ දේව මෙහෙය වෙනුවෙන් එම දේවස්ථාන ආශ්‍රිතව රථවාහන ගමනාගමනය සීමා කර තිබේ.
පොලිසිය පැවසුවේ, කොටහේන ශාන්ත ලුසියා දේවස්ථානයේ සිට වෙරළබඩ පොලිස් වසමේ පිහිටි කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය දක්වා පාගමනක් පවත්වා අනතුරුව කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පැවැත්වෙන විශේෂ දේව මෙහෙයක් පැවැත්වීමට කටයුතු සැලැසුම් කර ඇති බවයි.
මෙම පා ගමන උදෑසන 07.00 ට කොටහේන ශාන්ත ලුසියා දේවස්ථානයෙන් ආරම්භ කර බොංජින් හන්දියෙන් වමට හරවා ගල්පොත්ත වටරවුමෙන් ගල්පොත්ත වීදිය හරහා ජම්පටා වීදියට ගමන් කර ජම්පටා වීදීය ඔස්සේ වෙරළබඩ ශාන්ත අන්තෝනී දේවස්ථානය දක්වා ගමන් කිරීමට නියමිතව තිබේ.
ඒ අනුව අද උදෑසන 07.00 සිට උදෑසන 11.45 දක්වා වරින්වර වෙරළබඩ පොලිස් වසමේ පහත මාර්ගයන් තාවකාලිකව වසා තැබීම සිදු කරන බැවින් ඇති විය හැකි රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා හැකිතාක් පහත විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.