''සිරි දළදා වන්දනාව'' අද තෙවැනි දිනටත්..

ලෝකවාසී බෞද්ධ ජනතාව වෙනුවෙන් ''සිරි දළදා වන්දනාව'' අද තෙවැනි දිනටත්

by Staff writer 20-04-2025 | 7:32 AM

COLOMBO (News1st) - ලෝකවාසී බෞද්ධ ජනතාව වෙනුවෙන් සිරි දළදා වන්දනාව අද (20) තුන්වන දිනටත් පැවැත්වේ.

ශ්‍රී දළඳා මාළිගයේදී දළදා සමිදුන් උදෙසා විශේෂ ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව දහවල් 12 සිට පස්වරු 5.30  දක්වා  දළදා සමිදුන් වැඳපුදා ගැනීම සඳහා සැදැහැවතුන්ට අවස්ථාව හිමිවනු ඇති.

දළදා මාලිගාවේ පිරිත් මණ්ඩපයේ විශේෂ පීඨිකාවක් මත පිහිටි ප්‍රදර්ශන කරඬුව  තුළ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ  තැනපත් කර ඇත්තේ වන්දනාව වෙනුවෙනි.

සුදු වතින් සැරසි, සැදැහැ සිතින් දළදා සමිදුන් වැඳපුදා ගැනීමට පැමිණෙන්නැයි, මහනායක හිමිවරුන් බැතිමතුන්ට දැනුම් දෙයි.

මෙවර දළදා දැක්ම පැවැත්වෙන්නේ වසර 16 කට පසුවයි.

ලබන 27 දක්වා සෑම දිනකම මධ්‍යාහන 12 සිට පස්වරු 5:30 දක්වා කාලයේ සිරි දළදා වන්දනාව සඳහා අවස්ථාව සැළසේ.

මේ අතර විශාල ප්‍රමාණයේ ගමන් මළු රැගෙන ඒමෙන් වළකින ලෙස සිරි දළදා වන්දනාවට පැමිණෙන සැදැහැවතුන්ගෙන් යුද හමුදාව ඉල්ලීමක් කර තිබේ.

යුද හමුදාව පවසන්නේ, පැමිණෙන සැදැහැවතුන්ගේ ආරක්ෂාව හා නවාතැන් පහසුකම් සැපයීම පිළිබඳ කරුණු සැලකිල්ලට ගෙන මෙම ඉල්ලීම කරන බවයි.

මේ අතර සිරි දළදා වන්දනාවට පැමිණෙන සැදැහැවතුන් වෙනුවෙන් අතිරේක දුම්රිය දෙකක් යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

ඒ , සැදැහැවතුන් පිරිස ඉහළ යාම හේතුවෙනි.

ඊයේ(19) රාත්‍රියේ  සිට එළැඹෙන 28 වැනිදා දක්වා එම අතිරේක දුම්රිය සේවා ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව මහනුවර දක්වා  සෑම දිනකම පස්වරු 07.55ට ‍දුම්රියක්, කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කිරීමට නියමිතයි.

එම දුම්රිය රඹුක්කන දුම්රිය ස්ථානයට පස්වරු 10.27 ළඟා වනු ඇති.

රඹුක්කනින් පස්වරු 10.40ට යළි පිටත්වන එම දුම්රිය, මහනුවර දුම්රිය ස්ථානයට මධ්‍යම රාත්‍රී 12.00ට ළඟා වීමට සැලසුම් කර තිබේ.

එමෙන්ම මහනුවර සිට කොළඹ බලා සෑම දිනකම රාත්‍රි 08.30ට දුම්රියක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.

එම දුම්රිය රඹුක්කන දුම්රිය ස්ථානයට ළඟා වන්නේ රාත්‍රි 09.50ටයි

එම දුම්රිය,  රඹුක්කනින් රාත්‍රි 10.35ට යළි කොළඹ බලා පිටත් වීමට  නියමිත අතර එම දුම්රිය කොළඹ කොටුවට දුම්රිය ස්ථානයට මධ්‍යම රාත්‍රී 12.00ට ළඟා වීමට සැලසුම් කර තිබේ.